මං පැන්නූ හැටි හෙවත් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”… හාහා රිඇක්ට් දැම්මොත් තොපි අපායේ යනවා…

ජාලිය වීරක්කොඩි –

අපට අද හරිම සතුටු දවසක් බව ලියා තියන්නට ඕනෑය. අපේ හිටපු ජනාධිපති තුමා තමන් පැන්නූ හැටි ගැන පොතක් ලියා එළිදක්වන්නේය.   මේ ලියන මා අද උදේ නැගිට්ටේ  එවැනි ස්වයං ලිඛිත සිද්ධි දාමයක් වටා සැඟවුන චරිතාපදානයක් කියැවීමේ අතිශය දුර්ලභ භාග්‍ය ලත් පුරවැසියෙක්  ලෙස උපන් මහත් වූ ආනන්දයෙන්ය.

ඒ ආනන්දයෙන්ම මේ සටහන තබන්නේය.

දැන් මේ ග්‍රන්ථකරණය සම්බන්ධව රටේ එක එක පරයින් අමුතු කතා කියන්නට පුලුවන.  ජනාධිපතිවරණයට නිශ්චිත කාල වකවානුවක්  ව්‍යවස්ථාවෙන් තීරණය වී ඇති බවත් බැසිල් මහත්තයා පොහොට්ටුව ගොඩදාන ඡන්ද ව්‍යාපෘතියට දින දෙකකට පෙර පැමිණුන බවත්  මේ පොතත් අතර සම්බන්ධයක් දකින උන් දැනටමත් මට හමුවී ඇත.

එහෙත්  කිසිම දේශපාලන ව්‍යාපෘතියක් සමග අපේ හිටපු ගෝඨා ජනාධිපතිතුමා අද  එළිදක්වන පොත කිසිසේත්ම සම්බන්ධයක් නැතැයි කැට දමා කිව හැකිය.   කුජිත වී නන්නත්තාර වූ පොහොට්ටුව මිනී වළෙන් නැගිට්ටවන්නට පොතක් නොව පොත් ඛාන්ඩ ගණනාවක් ලියාවත් නොහැකි බව සිහි බුද්ධියක් ඇති මිනිසුන් පමණක් නොව ගෝඨා හිටපු ජනාධිපති තුමතා දන්නා බව අපේ විශ්වාසය ය.  ඒ නිසා ඒ වැනි සිල්ලර කතා එතුමාට කිව යුතු නැත.


අප නම් බරපතල ලෙස විශ්වාස කරන්නේ ගෝඨා හිටපු  ජනාධිපති තුමාට එරෙහිව මේ රටේ බරපතල කුමන්ත්‍රණයක් තිබුණ බවය. 2015න්  පසු එතුමා ඇමරිකාවට ගොස් ඩේටා එන්ට්‍රි ජොබ් එක කරගෙන පාඩුවේ හිටියේය. ඒ ජීවිත නිස්කාංසුව බිඳ දමා ප්‍රාදේශීය සභාවකවත් නොසිටි එතුමාව ගෙල ග්‍රහයෙන් රැගෙන විත් රටේ විධායක ජනාධිපති පුටුවේ ඉන්දවා ලෝකයක් ඉදිරියේ පට්ට පදුරු කුජීත කිරීමේ කුමන්ත්‍රණය තවමත් අපට හිතා ගත නොහැකි එකකි. එය එතුමාටත් හිතාගන්නට බැරි බව විශ්වාසය.  ඒ ගේම ගහන්නට නාගලෝකයෙන් නයි ආවේය. රටේ තැන තැන සුබ ලකුණු මතුවුනේය. දෙවි දේවතාවෝ දේව තලවල සිට අමතන්නට වූහ. එවැනි ගේමක් නම් ලොවෙත් නැත. ඒ වෙනුවෙන්   ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ඇති බව කිව යුතුය.

මල් පාත්ති හැදූ එකා රටේ විධායක ජනාධිපති කර රට  ගොඩදාන්නට බලකිරීම සිහිබුද්ධිය සහිත එකෙක් කරන්නේ නැත. අප විශ්වාස කරන්නේ ගෝඨාට එරෙහි කුමන්ත්‍රණය ආරම්භ වන්නේ ජනාධිපති වීමට පෙර සිට බවය.  අපේ ගෝඨා ජනාධිපතිතුමාගේ පොතේ ඒ කුමන්ත්‍රණ බීජය වැපිරුණ හැටි සඳහන්දැයි බලන්නට වෙන්නේ අද පොත මිලදී ගෙන කියවා බැලීමෙන් පසුය.

ඒ වගේම එතුමා මාධ්‍යයට කියා ඇති ආකාරයට ඇත්තටම බරපතල ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් දියත් වී ඇතැයි කියනවා නම්  අනික් උන් කෙසේ වෙතත් මේ ලියන ලියුම්කරුනම් එය පිළිගන්නේය. අප මේ රටේ පුරවැසියන්ට කියන්නේ   ඇටෙන් පොත්තෙන් පැන්න  පෝරිසාදයන්  කියන කතා අසන්නට එපා කියාය.  “ගොබ්බයෙක් ජනාධිපති වී සිදුකළ ගොබ්බ පිස්සු කෙළියේ ප්‍රමාණය දකින විට ඌව පන්නන්ට අන්තර්ජාතික කුමන්ත්‍රණ මොකටදැයි “  එවැනි එකෙක් කියනවා අසා සිටියෙමි. තව එකෙක් කීවේ මේ “ගෝඨා පැන්නූ අන්තර්ජාතික කුමන්ත්‍රණයේ කතාවත්” කැලණියේ නයා ගෙනාපු  උන්ම හැදූ අලුත්ම වැඩේ බවය. මේ පදුරු කතා කියන උන්ගේ කටවල් කන්නට උවමනාය.

පුද්ගලිකව එවැනි කුප්ප කතා අප විශ්වාස කරන්නේ නැත.

අපේ විශ්වාසය මෙසේය.

“අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයින් විසින් කොළඹට ගෙන්වූ අතේ ඇඟිලි ගණනට කිව හැකි පුංචි කණ්ඩායමක්  අන්තර්ජාතික න්‍යාය පත්‍රමත ක්‍රියාත්මක වී අපේ ජනාධිපතිවරයා රටින් පන්නා දැමුවේය. ඉන්  පසු එතුමා රට රටවල චාටර් වී  යළිත් ලංකාවට පැමිණියේය. ඒ පැමිණීම අප සලකන්නේ භාග්‍යයක් ලෙසය.

ඉන් පසු ප්‍රසිද්ධියේ  පන්සලකටවත් නොගිය එතුමා තමන් පැන්නූ කුමන්ත්‍රණය ගැන පොතක් සමග යළිත් කරළියට පැමිණීම පුද්ගලිකව මේ රටේ භාග්‍යයකි. පුරවැසියන් අමන්දානන්දටය පත්වන කරුණකි. අපට ඇත්ත නොකියා එතුමා මේ තරම් කාලයක් පැත්තකට වී සිටීම ගැන අප සිටියේ උකටලීවය.

දැන් ඒකත් හරිය.

තමා පැන්නූ හැටි කියන ගෝඨාගේ පොත  “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ය.    අද (07) එළිදැක්වීමට නියමිත පොත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ගෝඨා කියන කතාව මෙසේය.

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් රචිත මගේ කෘතිය එළිදැක්වීම අද (07) සිදු කෙරෙනවා. 2009 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න වුණා. 2019 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියා. මා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම පාහේ එකල ශ්‍රී ලංකාව සහ මුළු ලෝකයම පුරා පැතිර ගිය කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමට ගතවුණා.”

“කුමන්ත්‍රණකාරී බලවේග මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අගදී ආරම්භ කළේ වසංගතය පාලනය කර එන්නත් ව්‍යාපාරය සම්පූර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබූ අවස්ථාවකදීයි.”

“මේ රට නිදහස ලබා ගත වූ පළමු හැට වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට මේ රට තුළ විදේශ මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතිනවා. මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර තිබෙනවා. එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් වෙනවා.”

“ කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ඍජු අත්දැකීමක්. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරනවා. අද (07) සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසල්වලින් මගේ මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැකි වෙනවා.”

ගෝඨාත් එහෙම කියනවා නම් තවත් අහන්නට දෙයක් නැත. ඒ පොත අරන් බලන්න… ඒක බලන්නම ඕන.පොතක්…”

පසුව ලියමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පොත බලා පට්ට පදුරු කුප්ප කතා වපුරන්නට නම් එපාය.   “හා හා” රිඇක්ට් දැම්මොත් තොපි ඔක්කොම  අපායෙ යනවා…

Exit mobile version