දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

ජීවත්වුන අතුපැල කඩා  දමා ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘතියකින් ගෙයක් හදන්න ගොස් උන් හිටි තැන් අහිමි වූ අසරණයින්ගේ කතාව

ජීවත්වුන පැල්පත කඩා දමා ගෙවල් හදන්නට ආණ්ඩුවේ ව්‍යාපෘතියකට ගොස් මඩුවකට වැටුණු ජීවිත...

ස්ථිර නිවාසයක් යනු මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවලින් එකකි. කුටුම්බ ජීවිතය සාක්ෂාත් කරගැනීමට නිවසක අසිරිය අත්‍යවශ්‍යය. ස්ථිර නිවසක හිමිකරුවන් වීමට කවුරුත් සිහින දකින්නේ එබැවිනි. නමුත් ස්ථිර නිවසක සිහිනය සැබෑ කර ගැනීමට ගොස් තමන් ජීවත් වූ පැල්පත ද අහිමි කර ගන්නට සිදු වූ පුවතක් වාර්තා වන්නේ ඇහැටුවැව, ගුරුගොඩ ප්‍රදේශයෙනි.

රුපියල් මිලියන 19.15ක මුදලක් වෙන්කර ගනිමින් පසුගිය රජය සමයේ “පොකුරු ගම්මාන නිවාස ව්‍යාපෘතිය ” ආරම්භ කර ඇත. ඒ සඳහා නිවාස 33 ක් තෝරා ගෙන ඇත්තේ පාට, පක්ෂ බේදයකින් තොරවය. එනම්, මේ ගමේ සියලුම දෙනාට ස්ථිර නිවාස නොතිබීම හේතුවෙනි.

නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ගොස් කබලෙන් ලිපට වැටුන ඔවුන් ගේ කතාව අසා බලන්න …….


කේ.එන්.සිරියලතා

අතරගල්ල, ගුරුගොඩ පදිංචි කේ.එන්.සිරියලතා දෑස් කඳුළින් පුරවාගෙන මෙසේ පැවසුවාය….”

“ගෙයක් හදාගන්න ලක්ෂ  හත හමාරක් දෙනවා කියල පහුගිය ආන්ඩුවෙ මහත්තුරු කීවා. ඒක දෙන්න 2019 අප්‍රේල්වලට  කලින් අපිට අත්තිවාරම දාන්න කීවා.  කනකර උගසට තියලා නොවිඳිනා දුක් විඳල අත්තිවාරම දාගත්තෙ අපිත් පුංචියට හරි ලස්සන ගෙදරක ඉන්න ආස නිසා. ඒත් සිමෙන්ති මිටි දහය දහය  දෙපාරකට දුන්න.  මුලින් ලක්ෂ  එක හමාරක් මුදල් දෙනවා කීවට ඒකෙන් අර සිමෙන්තවලට සල්ලි කපාගෙන එක් ලක්ෂ තිස් නම දාස් හයසීයක් අපිට දුන්න. ඒකෙන් ගෙවල් හදන්න බෑනේ. ලක්ෂ හතක් දෙනවා කීවට ලැබුනෙ එච්චරයි .දැන් ඒ ණයක් විදිහට දුන්න  මුදලට අපි  රුපියල් 1500ක වාරිකයක් ගෙවනවා. එදා වේල හොයාගෙන කන අපිට ඒ ගාන ගෙවන්න අමාරුයි. අපි තව පොඩ්ඩෙන් මේ ඉන්න පැලත් ගලවනවා. අසරණ අපිට මෙහෙම කරන්නෙ ඇයි.? ”

කැලේට ගිය අත්තිවාරම්

ගුරුගොඩ පදිංචි එම්.ටිලානි ප්‍රනාන්දු මෙලෙස පැවසුවාය…”  “ලස්සන ගෙදරක ඉන්න හීන දැක්ක අපි දැන් ඉන්නේ බිම්මල් වගාව කරන්න අටවපු පැලේ. පරණ ගේ මැදිකරල අලුත් ගේ බඳින්න පටන් ගත්ත.  ඒකෙන් කෝකත් නැතිවුනා. සිමෙන්ති කොට්ට ටිකත් වතුර ට තෙමුනා. ණය විදිහට ලැබුනෙත් රුපියල් ලක්ෂයයි….”

බී.ඩබ්.එල්.සුසිර කුමාර

එම නිවාස ව්‍යාපෘතියේ සභාපති ලෙස කටයුතු කල ගුරුගොඩ පදිංචි බී.ඩබ්.එල්.සුසිර කුමාර මෙසේ කීවේය.

” ගමට වැඩක් වෙන නිසයි මං ඒ වැඩසටහනේ සභාපති කම ගත්තෙ. නමුත් මේ වැඩේ නතර වුනේ ගමේ හැම මිනිහෙක්ම ණය කාරයෙක් කරල. ලක්ෂ හයක් නිවාස අධිකාරියෙන් ණය විදිහට ත්, ලක්ෂ එක හමාරක් අධාර විදිහට ත් දෙනවා කීවා. .අපි ඒක විශ්වාස කරල .නොවිඳිනා දුක් විඳල අත්තිවාරම දැම්මා. නමුත් ඒ හැමදේම අතරමඟ නතර වුනා. අපි ගිවිසුම ගැහුවෙ සම්පූර්ණ ණය මුදල අපිට ගෙවල ඉවර වුනම වාරික විදිහට ආපහු ගෙවන්න. මිනිස්සු ගෙවල් හදන්න හිතාගෙන ගස් එහෙම ත් කැපුවා. ඒත් ඒව ඉරාගන්න නැතිව දිරල ගියා. මේක නම් පුදුම රැවටීමක්.” යනුවෙන් පැවසුවේ ය.

ජීවත්වුන පැල්පත කඩා අලුත් නිවාස හදන්නට හීන දැක මඩුවක ජීවත්වන හැටි

මේ ගැටලුට හේතු මොනවාදැයි අදාළ බලධාරීන් ගෙන් විමසීමු. නිවාස සංවර්ධන අධිකාරි යේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකාර එන්.බී.එස්.නරසිංහ  මෙසේ පැවසුවේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


” මෙම පොකුරු නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 19.15ක මුදලක් වෙන්වුනා. ණය පදනමට නිවාස 30කුත්, ආධාර පදනමට නිවාස 3කුත් සැදීමට නියමිතව තිබුනා. ලක්ෂ දෙකේ සිට හත හමාර දක්වා  ණය දෙන්න තීරණය වී තිබුණා. මේ වනවිට මිලියන 5.145ක ණය ලබා දී අවසන්. නිවාස ව්‍යාපෘතිවලට කුරුණෑගලට විතරක් තව රුපියල් මිලියන 1600ක් විතර අවශ්‍ය වෙනවා. ප්‍රමාණය ට වඩා වැඩ කිරීමට යාම තුළයි මේ ගැටලුව මතුවුනේ. නිවාස රාජ්‍ය අමැතිතුමාත්, අගමැතිතුමාත් සමඟ මේ හිඟ මුදල් ගැන සාකච්ඡා කළා. ළඟදීම විසඳුමක් ලැබෙයි.”

Exit mobile version