රූපවාහිනියත් තහනම් කළ නිවසින් දැරියන් පැන ගොස් ඇත්තේ නර්ථනය ඉගෙන ගන්න…

සංගීතය නර්ථනය තබා රූපවාහිනියත් බැලීමට තහනම් කළ නිවසින් පලා ගිය දැරියන් පොලිසියට කී කතාව..

නිවසින් පලා ගිය දැරියන් තිදෙනාගේ කතාව හෙළි වී ඇත. ඒ පසුපස ඇති යථාව මේ රටේ අම්මලා තාත්තලාට නැවත වරක් තමන්ගේ දූ දරුවන්ගේ අභිලාෂයන් සිතුම් පැතුම් සහ ඔවුන්ට දරුවන් ලෙස සැලකීමේ අවශ්‍යතාවය පිළිබඳ යළිත් සිතා බලන්නට බල කරයි.

08 වැනිදා නිවසින් අතුරුදහන් වී යළි කොළඹින් මතුවූ මේ දැරියන්ට සිදුවූ දේ දැනගෙන විමර්ශනයක් කරන්නට අද ඔවුන් පොලිස් භාරයට ගත්තේය. පොලිසියේ දී මේ දරුපැටව් හඬා වැටෙමින් කියා තිබුණු කතාව මොහොතකට අපේ හදවත් නවත්වයි.

මේ දැරියන්ට නිවෙසේ රූපවාහිනිය, සංගීතය තහනම් කර තිබිණි. දැඩි සංස්කෘතික පීඩනයක් යටතේ ජීවත්ව ඇති මේ දැරියන් තිදෙනා නිවසින් පිටවී ගොස් ඇත්තේ නර්තනය  හැදීමේ ආශාවෙනි. නර්තනය හදාරා නර්තන තරු වීමේ අභිලාෂයෙනි.


ඔවුන්ට සිය නිවසේ සිට තහනම් වූ සංගීතය, නර්තනය සොයාගෙන නිවසින් පිටවී ගොස් ඇත. එකම අභිලාෂයව තිබී ඇත්තේ නැටුම් කණ්ඩායමකට හෝ පන්තියකට එක් වීමය. තමන් සතුව තිබූ මුදු දෙකක් රුපියල් හැට දහසකට උගස් කර ඒ මුදලින් නර්තනය සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටී ෂර්ට්, ජීන්ස් ප්‍රමාණයක් රැගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව කීවේය.

අනතුරුව ඔවුන් ගොස් අත්තේ වත්තල නර්තන පාසලකටය. එහිදී එම උත්සාහය ව්‍යර්ථ වී ඇත. ඔවුන් අනුරාධපුරය දක්වා ගමන් කර ඇත්තේ ඉන් පසුවය.

ඔවුන් නැගුණු බස් රථය අනුරාධපුරයට එනවිට හවස් වී ඇත. හවස් යාමයේ  අනුරාධපුරයෙන් බැසගත් දැරියන් තිදෙනාට තරුණයින් පිරිසක් අනවශ්‍ය ලෙස විහිළු කරන්නට පටන් ගෙන තිබේ.  බස් රථයේ කොන්දොස්තර සහ රියදුරු වාසනාවට උතුම් මනුස්ස ගුණ පිරිණු මිනිස්සුය. මේ දැරියන් සම්බන්ධව සැක සිතුණු ඔවුන් දෙපළ  දැරියන් යන එන තැන් ගැන විමසා තිබේ. මේ තොරතුරු සොයා බැලීමේ දී ඔවුන්ට තේරී ඇත්තේ මේ තිදෙනා නිවසට හොරෙන් පැමිණ ඇති බවය.

මේ වටිනා මනුස්සයින් දෙදෙනා දැරියන් තිදෙනාව කොතැනකවත් යා නොදී බස් නැවතුමේ රඳවාගෙන තිබේ. අනතුරුව මන්නාරමේ සිට කොළඹ යන බස් රථයක දැරියන් තිදෙනා නැන්වූ ඔවුන් අතරගම කොතැනකවත් ඔවුන්ට බහින්නට ඉඩ නොදෙන සේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට දැරියන් තිදෙනා සොයා බැරිම තැන ඒ නිවෙස්වල වැඩිහිටියන් ඔවුන් අතුරුදහන් බව දන්වමින් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ ඔවුන් අතුරුදහන් වූ 08 වැනිදාය. පොලිසියත් මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කළේය.

ඊයේ රෑ බෝ වනවිට යළිත් කොළඹට පැමිණි දැරියන් තිදෙනා සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට සුචරිතයට ගොස් තිබේ. ඒ ඔහුට  තමන්ගේ අභිප්‍රාය කියා උදව්වක් ලබා ගැනීමටය.  ඒ අවස්ථාවේ විපක්ෂනායකවරයා කාර්යාලයේ සිට නැත.

මේ වනවිට  සිද්ධිය පිළිබඳව රටේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. එළිය වැටෙන තුරු හිඳ ඔවුන් තිදෙනා ඥාති නිවසකට ගොස් ඒ මාර්ගයෙන් සිය නිවෙස වෙත යෑමට තීරණය කර ඇත්තේ ඒ පසුබිමේ දීය.

දරුවන් යනු දරුවන්ය. ඔවුන්ගේ ජීවිතවල සුන්දර සිහින තිබේ. ඒ සිහිනවලට ඉඩ නොදී ඔවුන්ටත් නොවැටහෙන, අතාර්කික සංස්කෘතික පීඩන ඔවුන්මත පැටවීමේ ප්‍රතිඵල පෙරට වඩා බරපතල වන්නේ ලෝකයේ යථාව මේ තාක්ෂණික ලෝකයේ දී ඔවුන් අසන දකින  බැවිනි.

මේ නොදරු ජීවිත ව්‍යසනයට ලක් නොවී බේරුණේ   මනුස්සකම් සහිත මනුෂ්‍යයින්  තවමත් මේ සමාජයේ ශේෂවී ඇති බැවිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දරුපැටවුන්ගේ බිඳවැටුණු මානසිකත්වය යළි ගොඩනැන්වීම සිදුකළ යුතුව තිබේ. එතෙක් ඔබ ඔබේ දරුවා ගැන කල්පනා කරන්න. ඔහුට දරුවෙක් ලෙස වැඩෙන්නට ඔබ ඉඩකඩ ලබා දී තිබෙනවා ද?

Exit mobile version