තව දින 04කින් ගොවියො කවුද කියලා බලාගන්න! – වලව ගොවීන්ගෙන් ආණ්ඩුවට පණිවිඩයක්…

  

සූරියවැව නුවන් ජයසේකර –

අජිත් මුල්ලවිතාරණගේ, එම්.ජී.තිළකරත්න එස්.කේ.මහින්ද සමරවික්‍රම

හම්බන්තොට වන අලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවියෝ හම්බන්තොට කටුවැව හන්දියේදි ආරම්භ කෙරුණු සත්‍යග්‍රහය සදහා අදට (31) දින 11ක් ගතවී ඇතත් මෙතෙක් රජය පාර්ශවයෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරත ගොවි නියෝජිතයෝ පවසති.

අලි පන්නලා දෙන්න විපක්ෂ නායකවරයා බලය ඉල්ලනවා…. අජිත් මුල්ලවිතාරණගේ – යූ.ඩී.78 ගොවි සංවිධානයේ සභාපති.


දැන් අපි දින 11ක් තිස්සේ මේ අඛණ්ඩ සත්‍යග්‍රහය පවත්වාගෙන යනවා.නමුත් මේ වෙනකම් කිසිදු රජයේ නිළධාරියෙක් මේ සදහා විසඳුමක් දෙන්න පියවර ගත්තේ නෑ.හැමදාමත් ගොවියා අසරණයි.ගොවියා වෙනුවෙන් මේ රටේ පාලකයෝ කිසිවෙකුත් පෙනී සිටින්නේ නෑ කියලා අද ඔප්පු වෙලා තියෙනවා. පසුගිය දවසේ විපක්ෂ නායකවරයාත් මේ සත්‍යග්‍රහය තියෙන තැනට ඇවිත් කිව්වා අපිට බලය දෙන්න අපි මේ ගැටලුව විසදන්නම් කියලා. විපක්ෂ නායක තුමාටත් අමතක වෙලා තියෙනවා එතුමලා බලයේ හිටපු කාලෙත් මේ ගොවියෝ වෙනුවෙන් කරපු දෙයක් නෑ කියලා. ඒ නිසා අපි මේ සත්‍යග්‍රහය කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් නෙමේ. ගොවි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හා අලියට හිමි නිජබිම අලියට දෙන්න කියල ඉල්ලන්නයි.

දේශපාලකයො රකින්නෙ කැලෑ පාලුවො මිසක් ගොවියො නොවෙයි… එම්.ජී.තිළකරත්න  – කටුවැව ප්‍රාර්ථනා ගොවි සංවිධානය.

දේශපාලඥයෝ හැමදාම කලේ ගොවි ජනතාව මෝඩයාට අන්දපු එක් විතරයි. අලි කළමණාකරන ගැසට්ටුව මුද්‍රණය වෙනකොට අපි හරි සතුටු වුණා. අපි හිතුවා අපිට දැන් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක අපිට හීනයක් විතරක් වුණා. අදටත් වන අලින්ට ඉන්න තියෙන කැලේ ඇතුලේ ඉන්නනේ අනවසර වගාකාරයෝ. ඒ අයට දේශපාලන රැකවල් තියෙන්වා. ගමේ ඉන්න අසරණ ගොවියට කිසිවෙකුගේත් පිහිටක් නෑ. ඒ නිසා මෙවර අපි මේ අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කලේ කා එක්කවත් සාකච්ජා පවත්වලා නැගිටලා යන්න නෙමේ. විසදුමක් එනකම් අපි මෙතනින් යන්නෙත් නෑ. අපිට මේ සදහා විසඳුමක් දෙන්න බලධාරීන් කටයුතු කරන්නේ නැතිනම් මේ ගොවි සංවිධාන 84ම නියෝජිතයින් එක්ක එකතුවෙලා දැවැන්ත ක්‍රියාමාර්ගයකට යනවා යැයි පැවසිය.

අපි අරගල කරන්නෙ ආණ්ඩු පෙරළන්න නෙමෙයි… වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම  

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මේ වසර මුලදී අපි සූරියවැව වල්සපුගලදී උපවාස හා මාරාන්තික උපවාසයක් සිදුකළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රේල 09 වන දින වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ලෙස හෙක්ටයාර 23746ක භූමියක් ගැසට් කල බවට ගැසට් පත්‍රයක් පවා මුද්‍රණය කලා. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි හිතුවා ගැසට් එකින් පස්සේ අලි කළමණාකරණ රක්ෂිතය ක්‍රියාත්මක වේවි කියලා.නමුත් ඒක වුනේ නෑ. පාලකයෝ අපිව රවට්ටන්න විතරයි කටයුතු කලේ. ඒ නිසා තමයි යළි අපි අඛණ්ඩ අපවාසයක් ආරම්භ කරන්න තීරණය කලේ. මේ අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 11ක් ගතවෙලත් තවමත් කිසිදු විසදුමක් දෙන පාටක් අපිට පේන්න  නෑ. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළදි අපි විශේෂ තින්දු තීරණ කිපයක් ගන්නවා. අන්න එතකොට පාලකයන්ට තේරෙවි ගොවි ජනතාව කියන්නේ කවුද කියලා. අපි මේ අරගලය කරන්නේ ආණ්ඩු පෙරළන්න නෙමේ.අපිට ආණ්ඩු එක්ක ප්‍රශ්නයක් නැ.අපි මේ අරගලය කරන්නේ අපේ ගොව් පවුල් ගොවිබිම් රැක ගන්නයි.

Exit mobile version