ගිංගඟේ ගිළුණු කුඩා තේවතුවල තනිවූ මිනිස්සු 

ලලිත් චාමින්ද –

ගිංගග පිටාර ගැලිමත් සමග  ගිංගග  ඉහල නිම්නයේ තවලම, හිනිදුම, පනංගල ආදි ප්‍රදේශවල තේ වගා බිම් ජලයෙන් යටවිම නිසා කුඩා තේ වතු හිමියන් දැඩි අසරණ තත්වයට පත්ව  ඇති බව ඔවුහු පෙන්වා දෙති. 

ධාරාණිපාත වාර්ෂාවත් සමග පැය කිහිපයක් ඇතුළත  ගිංගඟ පිටාර ගලා තේ වගාබිම් ජල රකුසාට හසුවු බවද කුඩා තේ වතු හිමියන් පෙන්වා දෙති. ජලය බැසයාමත් සමග තේ දළුවල රෝන්මඩ බැදිම නිසා තේ දළු කුණුවි යන බව පවසන කුඩා තේ වතු හිමියෝ මේ නිසා මාසයක් පමණ යනතෙක් තේ අස්වැන්න නෙලිමට නොහැකි වන බවද  පවසති. 

ගිංගග ඉහත්තාවේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට තේ වගාව පත්ව ඇත. ගිංගඟ දෙපස කුඩා තේ වගාබිම් විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ගංවතුරට යටවිම නිසා  තේ වගාබිම් රැසකට හානිවි ඇත.  තේ වගාබිම් පමණක් නොව තේ තවාන් වලට ද හානිවි ඇති බව තේ තවාන්කරුවෝ පවසති.  කුඩා තේ වතු හිමියන් පමණක්  නොව තේ දළු කඩා දිවිගැට ගසා ගත් ශ්‍රමිකයින් ද මෙම තත්වය නිසා දැඩි අසරණ තත්වයට පත්ව ඇත. 


සුරංග, රුක්මාල්, අනුර

කුඩා තේ වතුහිමියෙකු වන හිනිදුම පනංගල පදිංචි අනුර ලියනගේ   මෙසේ කිවේය.

මට තේ අක්කර 05ක් තියෙනවා. ගංවතුරට තේ වගාව ජලයෙන් යටවුනා ජලය බැසයනවිට රොන්මඩ ඇතුළු  අපද්‍රව්‍ය තේ දළුවල තැන්පත් වුනා. තේ දළු මඩවලින්  නැහැවි ගොස් තියෙනවා. මේ නිසා තේ දළු කුණු වෙනවා.  මේ නිසා කුණු වු තේ දළු කඩලා ඉවත් කරන්න ඕන. මේ නිසා මාසයක් විතර යනකම් තේ අස්වැන්න නෙළාගැනිමට බැරිවෙනවා. අපිට වෙනත් කිසිදු  ආදායම් මාර්ගයක් නැහැ. තේ වගාව තමයි අපේ ප්‍රධාන ජීවන මාර්ගය.   කොරෝනා වසංගතයෙන් බැටකා සිටින අපි ගංවතුරෙන්ද  බැට කනවා. අපි අන්ත අසරණ තත්වය පත්වෙලා ඉන්නේ. ඔහු කිවේය.

හිනිදුම පනංගල පදිංචි රුක්මාල් පි ලියනගේ කුඩා තේ වතු හිමියෙකි.

“මට තේ අක්කරයක් විතර තියෙනවා.  තේ වගාව සම්පුර්ණයෙන්ම ගංවතුරට හසුවුනා. පැය එකහමාරක් ඇතුළත තමයි  ගිංගඟේ ජල මට්ටම වැඩිවුනේ. කිසි දෙයක් හිතා ගන්නත්වත් බැරිවුනා. තේ වගාවන් පමණක් නෙවෙයි මිනිසුන්ගේ දේපලවලටත් හානි වුනා.   මාසයක් විතර යනකම් තේ දළු කඩන්න බැහැ.  ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නවගේ දෙයක් තමයි වුනේ.  

පනංගල බටහිර පදිංචි සුරංග සම්පත් තේ වතුවල දළු කඩා ජිවිතය ගැට ගසා ගන්නා අයෙකි.

මමත් මගේ බිරිදත් තේ වතුවල තේ දළු කඩලා ඉන් ලැබෙන ආදායමෙන් තමයි ජිවිතය ගැට ගසා ගන්නේ.   තේ වගාබිම් ගංවතුරට හසුවිම නිසා  තේ දළුකැඩිමෙන් දිවිගැට ගසාගත් අපි අසරණ වෙලා ඉන්නවා. ගංවතුරට හසුවිමත් සමග තේ දල්ල නරක් වෙලා කුණුවෙලා යනවා. මාසයක් විතර යනකම් තේ වතුවල දළුකඩන්න බැරිවෙනවා. යැයිද සුරංග කිවේය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණගෙන් මේ පිළිබඳව විමසුවෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධාරාණිපාත වර්ෂාවත් සමග  ගිංගග පිටාර  ගැලිම නිසා ගිංගග ඉහල නිම්නයේ පිහිට තේ වගා බිම්වලට හානිවි ඇති බවට වාර්තා  වි තියෙනවා. ගිංගග  දෙපස කුඩා තේ වතු විශාල   වශයෙන් පිහිටා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම  රත්නපුර හා මාතර දිස්ත්‍රික්කයේ තේ වගාබිම් කොටසකට ද  ගංවතුරෙන් බලපැම් එල්ල වි ඇති බවට වාර්තා  තියෙනවා. ගංවතුරට හසුවිමෙන් හානියට පත්  කුඩා තේ වතුහිමියන්ගේ තේ වගාබිම් පිළිබඳ  තොරතුරු  මේ වනවිට ගණනය කරගෙන යනවා. හානියටපත් තේ වගාවන් පිළිබද තොරතුරු   ලබා ගැනිමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තින්දු කරනවා.“කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version