ගල්ගමුවේ ශිෂ්‍යත්ව දරුවන්ට සිදුවුනේ කුමක් ද?. ගල්ගමුවේ ගුරුවරියක් ලංකාසරට කියයි!

5 වසර ශිෂ්‍යත්ව විභාගය ඊයෙ පැවැත්වින. ඒ වසංගත තත්ත්වය හමුවේ බොහෝ බාධක දුක් කම්කටොලු මතිනි .

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුන සෑම වසරකම වැඩිපුර කතාබහට ලක්වන්නේ මහව අධ්‍යාපන කලාපය යි . ඒ එම කලාපයේ විද්‍යාල කිහිපයක් ම වරින් වර දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කරන බැවිනි. නමුත් ඊයේ  මාධ්‍යයෙන් දැකගත හැකි වූයේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

ඊයේ දින  ශිෂ්‍යත්ව විභාගය අවසන ගල්ගමුව යූ.බී වන්නිනායක විදුහලේ   දරුවන් හා දෙමව්පියන් ගේට්ටුව ඉදිරිපස හඬාවැටුණු දුටුවෙමි. මාධ්‍ය එය වාර්තා කර තිබුණේ ය. එම පුවත වේගෙන් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර යන අයුරුද  දුටුවෙමි. මාධ්‍ය වාර්තා කර තිබුණේ දරුවන්ගේ අඬවැඩියාවය. දෙමව්පියන්ගේ වියරුවය. එහෙත් වගකිවයුතු පාර්ශවයන්වයෙන් කරුණු විමසා  තිබුනේ නැත .


ඇත්තටම සිදුවූයේ කුමක් ද?. ගුරුවරියක ලෙස වගකීමෙන් හා යුක්ති සහගතව මේ සටහන ලියා තබමි.

දරුවන් හා දෙමව්පියන් පවසන ආකාරයට විභාග ශාලාව තුළ රාජකාරිවල නිරත වූ ගුරුවරුන්ට ඇති චෝදනා මෙසේය

  1. කටු වැඩ කොල දුන්නෙ නෑ .
  2. වෙලාව ඉවරයි කියල පේපර් එක උදුරල ගත්තා.
  3. අපේ කාමරවල බිත්තියෙ ඔරලෝසුව ක් තිබුනෙ නෑ . අහවල් ඉස්කෝලෙ ළමයි හිටපු කාමරේ ඔරලෝසුව ක් තිබුනා.
  4. ගුරුවරියක් ළමයි තුන් දෙනෙකුට උත්තර කියලා දුන්නා .

මේ දෙමව්පියන්ගේ හා දරුවන්ගේ අඬ වැඩියාවේ මාධ්‍ය වාර්තා කර තිබුණේ එලෙසය. නමුත් එය එසේ වූවා දැයි සොයා බැලිය යුතුය. විමර්ශන හෙට සිට ආරම්භ වනු ඇත .

  1. ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන   දරුවෙකුට කටු වැඩ කිරීමට කොළ ලබා නොදෙන ගුරුවරුන් ඉන්නවා යැයි ඔබ සිතනවාද ?… කටු වැඩ කළ කොල සියල්ල පැකට් කර නැවත භාර දෙන බව ඔබ දන්නවාද ?. විමර්ශන ඔස්සේ ඒ චෝදනාව සත්‍ය ද අසත්‍ය දැයි හෙළි කර ගත හැකිය.  විභාග ශාලාවකට ලැබෙන කොළ ප්‍රමාණය හා කටුවැඩ   සඳහා ලබාදී ඇති කොළ ප්‍රමාණය ගණනය කළ හැකිය .
  2. විභාගයට නියමිත වේලාව අවසන් වූ පසු පිළිතුරු පත්‍රය ගුරුවරුන් විසින් පිළිවෙළින් එකතු කරගත යුතුය .”උත්තර පත්තරේ ඇදලා ගත්තා “… මේ දරුවන් එලෙස පවසන්නේ ඇයි දැයි මේ ලිපිය කියවන ඔබ නිසැකවම වටහා ගනු ඇත. පිළිතුරු පත්‍ර එකතු කර ගැනීම   ඇදලා ගැනීමක් ලෙස දරුවන් දකින්නේ ඇයි ?
  3. බිත්තිවල ඔරලෝසු  ප්‍රදර්ශනය කිරීමක් පිළිබඳ විභාග නීතියේ නැත. නමුත් වරින් වර දරුවන්ට තිබෙන කාලය පිළිබඳ මතක් කෙරෙනු ඇත. විභාගයක දී සිදු කළ යුතු  එවැනි  කාරණා අමතක කරන්නට තරම් ගුරුවරු වගකීම් රහිත නොවෙති.
  4. ගුරුවරියක් දරුවන් තිදෙනෙකුට උත්තර     කියලා දුන්නා යැයි යන චෝදනාව විමර්ශනවලින් හෙළි  කර ගත යුතුය. එහි වරද නිවරද   නොදනිමි. නමුත් මාධ්‍යයෙන්  නම් මා දුටුවේ ……”ඒ ටීච කියලා දුන්නා නේද ?? ඔයා දැක්කා නේද පුතේ…. කියන්න කියන්න… මේකට කියන්න…. ” යැයි දෙමව්පියෙක් ගේ නිර්ලජ්ජිත පෙළඹුම කි .

එය එසේ නම් මේ සිදුව ඇත්තේ කුමක්ද?.  එය අපේ සමාජ ක්‍රමය තුළ ඔඩු දුවමින් තිබෙන බරපතල ඛේදවාචකයකි. මේ ඒවායේ  අතුරුපලය.

මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව කොට්ඨාසයට අයත් සිරිමාවෝ බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය වසර ගණනාවක් තිස්සේ නිතර ශිෂ්‍යත්ව  ජයග්‍රහණ ලබයි. ඒ දරුවන් ද විභාගයට පෙනී සිටියේ මේ සිදුවීම සිදු වූවා යැයි කියන පාසලේමය. චෝදනා ඉදිරිපත් කරන්නේ යූ.බී. වන්නිනායක විද්‍යාලයේ දරුවන්ය. ඔවුන් කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක කනිටු විදුහලේ දරුවන්ට ගුරුවරු විභාගයේ දී උදව් කළ බවය.  මේ ලිපිය ලිවීමේ අරමුණ දරුවන්ට චෝදනා කිරීම නොවේ. ශිෂ්‍යත්වය වියරුවක් කරගෙන දරුවන්ගේ ඔලු කන දෙමව්පියන් ට දැනෙන්නට ය… මේ සියලු කාරණා වලට පසුබිම සැකසෙන්නෙ එලෙසය.

ජයග්‍රහණය ලබන පාසලේ හා ඒ දරුවන් කෙරෙහි  අනෙක් ආසල්වල දෙමව්පියන් බලන්නේ වැරදි දෘෂ්ටි කෝණයකිනි. අපේ දරුවන් නොලබන ජයග්‍රහණයක් ඔවුන්ට ලැබෙන්නේ කෙසේදැයි ඔවුන් සිතනවා ඇත. එයට හොඳම සාක්ෂිය වන්නේ මීට පෙර වසර කීපයක සිට ඔය වැනි ගැටලු ශිෂ්‍යත්ව  විභාගයෙන් පසු ගේට්ටුවෙන් පිටත නිතර නිතර සිදුවීමය. අහස පොලොව නුහුලන කට කතා පැතිරීමය.

අද වෙනසකට තියෙන්නේ ඒ සිදුවීම්  මාධ්‍ය තුළින් ඒකපාර්ශවීය වාර්තා කිරීමය. මේ සියලු කාරණා වලින් සිදුවන්නේ මුළු මහත් අධ්‍යාපනයටම කැලලකි. ඒවා සුළුපටු ඒවා නොවේ. එවැනි සිදුවීම් ඇතිවන තත්ත්වයකට දෙමව්පියන් හඬා වැලපෙමින් දරුවන් පොළඹවමින් මේ ගෙනියන්නේ ශිෂ්‍යත්ව වියරුවක් මිස සැබෑවක්   නොවේ. සැබෑ කාරණය   මනෝ විද්‍යාත්මකව සොයා විමසා බැලිය යුතුය. විමර්ශනවලින් පසු හෝ බලධාරීන් එක්ව මේවාට පිළියම් යෙදීය යුතුය.

ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ මෙවැනි සමාජ ඛේදවාචක නොවිය යුතුය.  නමුත් සිදුවෙමින් පවතින්නේ සිදු නොවිය යුතු දෙයකි.  දරුවන්ට තවකෙකුගේ ජයග්‍රහණය සතුටින් විඳගැනීමට ඉගැන්විය යුතුය. ඒ සඳහා සැකසුණු නිදහස් මානසිකත්වයක් නැත. මෙය ඊයේ පමණක් සිදුවන්නක් නොවේ. වසර ගණනාවක සිට ශිෂ්‍යත්ව විභාගය කෙළවරදී ගල්ගමුවේ පාසල් ගේට්ටු අසල සිදුවන්නකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිදුවූයේ කුමක්දැයි විමර්ශනවලින් හෙළිවනු ඇත. නමුත්  දරුවන්ගේ මනස විකෘති කළ ඒ වියරුවේ විෂබීජ සෝදා හරින්න කවුද… ?

Exit mobile version