කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

ලලිත් චාමින්ද  සහ එස් කේ කළුආරච්චි ගාල්ල

දකුණු වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයකි. මෙරටට පැමිණෙන විදේශිය සංචාරකයින් දකුණු වෙරළ තීරයේ පහස විඳ දරාගැනිමට අමතක නොකරති.  කොරෝනා වසංගතය හේතුවෙන්  දෙස් විදෙස් සංචාරකයින් නොමැතිවිම නිසා දකුණු පළාතේ සුන්දර වෙරළ තීරයන් පාළුවට ගොස් ඇත.  මෙම තත්වය නිසා දකුණු වෙරළ තීරයේ  සංචාරක කර්මාන්තයේ නිරත  විශාල පිරිසකට රැකියා අහිමිවී ඇත. මේ අතර සංචාරක මගපෙන්වන්නන් මෙන්ම  සංචාරක ප්‍රවාහන සේවා සපයන අයද වෙති. 

මෙම තත්වය හමුවේ මොවුන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති අතර ගැටළු රැසකට මුහුණ දි සිටිති.  සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කළ ඇතැම් තරුණයින් තම දරුපවුලේ බඩවියත රැක ගැනීම සඳහා  මේ දිනවල බුවල්ලන්   ඇල්ලීමට යති. ඇතැම්හු ධීවර රස්සාවේ යෙදෙති.  රිටිපන්න ධිවර කර්මාන්තයේ නිරතව  සිටින පිරිසක් ද ඒ අතර වෙති. සමහරු  එදිනෙදා කුලීවැඩවල නිරතව සිටිති.

මනෝජ්

කොග්ගල මෝදරගොඩ පදිංචි පි.එච්. මනෝජ් අප සමග කීවේ මෙවැනි කතාවකි.


“මම සංචාරක මගපෙන්වන්නෙකු ලෙස රැකියාව කළා. කොරෝනා වසංගතය නිසා දැන් රැකියා  අහිමිවෙලා ඉන්නේ. පසුගිය දිනවල බුවල්ලන් 10ක් විතර ඇල්ලුවා. එක් බුවල්ලෙක් රුපියල් 750කට තමය  අලෙවි කළේ. සංචාරකයින්  හිටියා නම් බුවල්ලෙක් රුපියල් 1500ට 2000ට විතර අලෙවිකරන්න තිබුණා. 

අපි දැන්  කබලෙන්  ලිපට වැටිලා  ඉන්නෙ.  ඇතැමුන්  ධීවර රස්සාවෙත් යනවා. තවත් අය කුලී වැඩ වලට යනවා.  විදේශිය සංචාරකයින් නොමැති නිසා  අපිට විතරක් නෙවෙයි, ත්‍රිරෝද රථ රියදුරන්ට කුලී ගමනක් යන්න විදිහක් නැහැ. තැඹිලිගෙඩිය අලෙවි කළ පුද්ගලයාගේ සිට සෑම අයෙකුටම දැඩි පහරක් වැදිලා තියෙනවා. මාළු ටිකක් අල්ලාගෙන දරුපවුලේ බඩවියත රැක ගන්න දැඩි අරගලයක නිරතවෙලා ඉන්නවා.“ 

ප්‍රබෝධ

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටි රැකියා අහිමි වූ කතළුව ප්‍රදේශයේ තරුණයින්ද  මේ දිනවල  බුවල්ලන්  ඇල්ලීම  හා විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතව සිටිති. ඉන් වැඩි පිරිසක් මිට පෙර සංචාරක කර්මාන්තයේ නිරතවුවන්ය. කතළුව කබලානේ පදිංචි පි ජි ප්‍රබෝධ (29) සංචාරක මගපෙන්වන්නෙත් වුදද දැන් බුවල්ලන් ඇල්ලීමේ පළපුරුදු කාරයෙකි.

 “ කොවිඩ් වසංගතයට පෙර මම සංචාරක මගපෙන්වන්නෙකු ලෙස තමයි කටයුතු කළේ. රැකියා අහිමිවීම නිසා  බුවල්ලන් විසිතුරු මසුන් පොකිරිස්සන් අල්ලන්න   මුහුදේ යනවා. මුහුදේ  යට කිමිදිලා තමයි බුවල්ලන් ඇල්ලීම කරන්නේ. බුවල්ලන් ඇල්ලිම  ලේසි පහසුකාරියක් නොවේ. සල්ලි ඕන නිසා යට යනවා. ජිවිතය ඕන නිසා නැවත  උඩවෙනවා. ඒ වගේ  දුෂ්කර රැකියාවක් තමයි කරන්නේ. විදේශීය සංචාරකයින් නැති නිසා බුවල්ලන් පොකිරිස්සන්  විකිණීමත් ගැටලුවක් වෙලා. දහසකුත් වු බාධක මැද තමයි මෙම රැකියාව කරගෙන යන්නේ…“  යැයි  ප්‍රබෝධ  කීවේය.

පි.ජි ලසන්ත  (32)  තම දරුපවුලේ බඩවියත රැක ගන්නේ මුහුදු රස්සාව කිරීමෙනි. බුවල්ලන් අල්ලන කාලයට ඔහු බුවල්ලන් හා විසිතුරු මසුන් අල්ලියි. ඔහු දක්ෂ කිමිදුම්කරුවෙකි. සංචාරකයන් නොමැති නිසා මේ මිනිසුන්ගේ ආදයම ද අනතුරකය.

ලසන්ත

“මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.  මුහුදේ කිමිදීමට ලයිසන් එක්ක ගන්න ඕන. දැනට වසර 15ක පමණ සිට මහමුහුදු සමග තමයි  ඔට්ටුවෙන්නේ. සිසන් කාලයට බුවල්ලන් අල්ලනවා. අපිට මේ රක්ෂාව නිදහසේ කරගෙන යන්න බැරිවෙලා තියෙනවා. රාත්‍රියට මුහුදේ කිමිදෙන්න අවසර නැහැ. පොකිරිස්සෝ  විසිතුරු මසුන්  බුවල්ලන් අල්ලනවා. විදේශිකයින් නැති නිසා මේ මසුන් වැඩිමිලට විකුණන්න බැහැ. අපේ  ආදායම පහත වැටිලා. අපි අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. දරුපවුල නඩත්තු කිරිම සදහා දැඩි සටනක් කිරිමට සිදුවෙලා තියෙනවා.“ යැයි ලසන්ත කීවේය.

උණවටුණ සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ කැඳවුම්කරු නිතිඥ රූපසේන කොස්වත්ත මෙසේ කීවේය.

රූපසේන කොස්වත්ත

“ රජය මගින් සංචාරක කර්මාන්තයේ නිරත වුවන් සඳහා ලබාදුන්  සහන පැකේජය උණවටුණ ප්‍රදේශයේ  සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍යම පරිමාණ  ව්‍යවසායකයන්ට ලබා ගැනීමට  නොහැකිවී තියෙනවා… එයට ප්‍රධාන  වශයෙන් හේතුවී ඇත්තේ  සංචාරක සංවර්ධන අධිකාරියේ නියාමනයට අනුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්  අවිධිමත් සංචාරක ව්‍යාපාරයේ යෙදෙනන් ලෙස  හෝ සංචාරක සංවර්ධන අධිකාරියේ  අනුමැතිය නොලත් සංචාරක ව්‍යාපාර බවට හදුන්වා දීම   නිසා…  උණවටුණ  සංචාරක කලාපයේ  පාරිම්පාරික ගම්වාසින්  සිය නිවෙස් සංචාරක කර්මාන්තය සඳහා යොදාගෙන  සංචාරක ව්‍යාපාරයේ යෙදීම හේතුවෙන්  ඉන් සියයට 90ක පමණ ප්‍රතිශතයක්  සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබානොගෙන සංචාරක ව්‍යාපාරයේ  නියලෙමින් සිටිනවා.

ණය මුදල් ගෙවීම ප්‍රමාද කිරිමේ යෝජනාවලිය යටතේ ලබා දී ඇති සහනය අනුව ණය මුදල් ගෙවිම පමා වුවද එකී ණය  මුදල් ගෙවිමේ පමා කාලය සදහා  මුල්‍ය ආයතන විසින් අයකරනු ලබන පොලිය අදාල කාලයට පවතින පොළි ප්‍රතිශතයයි. එම පොළිය අදාල ණය  මුදලේ ප්‍රධාන ණය මුදලට එකතු වෙනවා.  මෙම තත්වය නිසා ඔවුන් විසින් ගෙවිය යුතු ණය මුදල පමා කාලයෙන් පසුවද   විශාල වීමක්  දක්නට   තියෙනවා. ණය පමා කාලයේ දි ගෙවිය යුතු පොලී ප්‍රතිශතය පවතින පොලී ප්‍රතිශතයක් ලෙස ගණනය නොකර සහන පොලී ප්‍රතිශතයක් ලෙස ව්‍යවසායකයින්ගෙන් අයකරණ ලෙස මුල්‍ය ආයතවලට උපදෙස් ලබාදෙන දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා…“   

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිසුන් සිටින්නේ ණයකින් හෝ ප්‍රදානයකින් ගොඩ යා හැකි මට්ටමක නොවේ. සම්ප්‍රදායික ආදායම් උපදවන අවස්ථා ගිලිහෙමින් ඇත. විසඳුම් නිර්මාණශීලීව සොයා ගැනීමේ අභියෝගය රට හමුවේ තිබේ. 

 

 

 

Exit mobile version