කාබනික ගොවිතැනේ ප්‍රතිඵල නිකුත් වෙන්න අරන්… ඉඟුරු ගොවිතැන 75% විනාසයි!

ලලිත් චාමින්ද –

කෘෂිකර්මාන්තයේ සමස්ථය ව්‍යසනයට ලක් වෙමින් ඇත. මේ ගොවිතැන හුදු කාබනික ගොවිතැනකට එක රැයකින් පත් කළ නොහැකි බව ක්ෂේත්‍රයෙන් ලැබෙන සෑම ප්‍රායෝගික දත්තයකින්ම පැහැදිලි වෙමින් තිබේ.

අක්මීමන හියාරේ ප්‍රදේශයේ ගොවීහු මහා පරිමාණයෙන් ඉඟුරු වගා කරති. කාබනික පොහොර යොදා කරන්නට ගිය ඉඟුරු වගාව මුලුමනින්ම ව්‍යසනයට ලක් වී තිබේ. ඔවුහු කරකියා ගත හැකි දෙයක් නොමැතිව සිටිති.

රසායනික පොහොර හා  දිලීර නාශක  නොමැතිවීම නිසා   ඉඟුරු වගාවේ අස්වැන්න සියයට හැත්තෑපහකින් පමණ අඩුවී ඇති බැව් ඔවුහු අපට හඬා නොහඬා කියති.


විනාස වූ වගාවේ ස්වරූපය

අපි අක්මීමන හියාරේ නැගෙනහිර ප්‍රදේශයේ ඉඟුරු ගොවීන් සොයා ගියෙමු. දිලීර රෝගයක් වගාව වසාගෙන පැතිරී ගොස්ය. කළ යුතු දේ ඔහුවු දනිති. එහෙත් වෙළෙඳපලේ දිලීර නාශක නැත.  අක්කර ගණන් වගාව කැලෑවට යන්නට සමහරු ඉඩ දී සිටිති.

හියාරේ නැගෙනහිර ප්‍රදේශයේ ඉඟුරු ගොවියකු වන ඩබ්ලිව් සුගතපාල   මෙසේ කිවේය.

“ඉඟුරු වගාව මෙම කන්නයේ දි විනාසයි. පොහොර හා බෙහෙත් නෑ. මේ වතාවේ අස්වැන්න සියයට හැත්තැපහකින් පමණ අඩුවෙලා. නෙලනවාටත් පාඩුයි. කැළැවට අත්හැරලා තියෙනවා.“

“මම ඉඟුරු අක්කරයක් පමණ වගා කළා. ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් වැයවුනා. වියදම් කරපු මුදලවත් මේ වතාවේ හොයාගන්න බැරිවෙනවා. වෙනදා  ඉඟුරු පදුරකින්  කිලෝ දෙකහමාරක් විතර අස්වැන්නක් ගන්න පුළුවන්. නමුත් මේ වතාවේ  ඉඟුරු පඳුරකින් ග්‍රැම් 250ක් වත්ත ගන්න බැහැ. ඉඟුරු රටින් ගෙනවන්නේ නැති නිසා අපි මහාපරිමානයෙන්  ඉඟුරු වගා කළා. චයිනා ඉඟුරු වලට  කාබනික පොහොර හරියන්නේ නැහැ.“

ඩබ්ලිව් . සුගතපාල

රංජිත් අඹවත්ත  (56) තවත් ඉඟුරු ගොවියෙකි.

“දැනට වසර 15 පමණ  සිට මම  ඉඟුරු වගාව කරණවා. මේ වතාවේ  අක්කර තුන්කාලක විතර  ඉඟුරු වගකළා. ඉඟුරු බිජ කිලෝ 500ක් විතර වගා කළා. බිජවලට රුපියල් ලක්ෂයක් විතර ගියා. කාබනික පොහොර, කුකුළු පොහොර යොදා තමයි වගා කළේ. සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ දෙකක් පැන්නා. ඉඟුරු වගාවට දිලීර හානියක් ආවා. නමුත් ඒ සඳහා දිලීර නාශකයක් නැහැ. මේ නිසා මේ කන්නයේ දි ඉඟුරුවගාවේ අස්වැන්න සියයට හැත්තැපහකින් විතර අඩුවෙනවා.“

“ කෘෂිකර්මාන්තය මේ විදිහට දැන් කරන්න බෑ.  දිලීර හානි සඳහා යෙදීමට වෙළඳපොළේ දිලීර නාශක නැහැ.  කාබනික  හා  රසායිනික පොහොර සියයට පනහ පනහ වගේ යෙදුවානම් වගාව සාර්ථක වෙනවා. සම්පුරණයෙන්ම කාබනික පොහොර යොදලා ඉඟුරු වගා කරන්න බැහැ. වෙළදපොළේ තියෙන ඇතැම් කාබනික පොහොරවල නිසි ප්‍රමිතියක් නැහැ.

රංජිත් අඹවත්ත

අසන අසන කෙනාට ඇත්තේ එකම කතාවය. ඒ තමන්ගේ ජීවිත මිහිදන් කර කාබනීකරණය කිරීමට ආසන්න බවය.

මේ එළි දකින්නේ කාබනික වගාවකට ප්‍රවේශ වීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට පෙර විමසා බැලිය යුතු ක්ෂේත්‍ර අත්දැකීම්වල ප්‍රතිඵලය. එහෙත් දැන් ඒ ප්‍රතිඵල ලැබෙන්නේ මේ රටේ කාබනික වගාවේ අස්වැන්න ලෙසය.

ඉදිරි වී වගාවට සිදුවිය හැකි ව්‍යසනය උදාහරණ සහිතව පෙනෙමින් තිබේ. බෝම්බයක් පුපුරවා ගත් විට කුඩුවන බව තහවුරු කරගන්නට බෝම්බ පුපුරුවාගෙන මිය යා යුතු නැත. එය තේරුම් ගැනීමට සූදානම් නැති පාලකයින් පිරිසක් සමග නියමිතව ඇත්තේ සාගතයේ මිය යන්නටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට ලෑස්ති වෙමු.

 

Exit mobile version