කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

ජානක ලියනආරච්චි –

අපිට අවශ්‍ය කොන්දක් සහිත නායකයෙක් බව  කාදිනල් හිමිපාණෝ කීහ. ඒ පෙරේදා ( 20) කටුවාපිටියේ දී ය.

පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් ගතවී හමාරය.  යුක්තිය ඉල්ලා කටුවාපිටියේ මිනිස්සු මරණයේ වේදනාව සමග මගට බැස සිටිති. මේ මිනිසුන් වෙනුවෙන් උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම්  වාර්තාවේ පිටපතකි.

මේ ඉල්ලීමට රජයේ අමාත්‍යවරු මේ වනවිට ප්‍රතිචාර දක්වමින් සිටිති. පරිසර ඇමති මහින්ද අමරවීර ඍජුවම ප්‍රකාශ කළේ සම්පූර්ණ වාර්තාව කිසිවෙකුටත් ලබා දිය නොහැකි බවය.  ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ නීතිඥවරුන්ද සිටින බවත්, ඔවුන් මහජන නියෝජිතයන්  වූ  කැබිනට් ඇමතිවරුන් බැවින් ඔවුන්ට එම අධ්‍යයනය  කළ හැකි බවත් ය. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කීවේ මේ ක්‍රියාත්මක වන්නේ සම්ප්‍රදායික පටිපාටිය නිසා එහි අඩුපාඩු ඇත්නම් සාකච්ඡා කිරීමට සූදානම් බවය.  මොනවද මේ කියන පුදුම කතා?. ඔහු නුවර දී ජනමාධ්‍ය අමතමින් ප්‍රශ්න කළේය.


ඒ අතර කතෝලික මන්ත්‍රීවරුන් කාදිනල් තුමාව මුන ගැසීමේ අවස්ථා සොයමින් සිටියහ. රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු  රජය පිළිබඳවත් ජනාධිපතිවරයා පිළිබඳවත් විශ්වාසය තබන ලෙස ඉල්ලීමට කාදිනල් තුමා හමුවීම සඳහා අවස්ථාවක් ඉල්ලුවේය. ඒ ඊයේ දිනයේය.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් නොමැතිව පලාතේ නොඑන ලෙස කාදිනල් තුමා රාජ්‍ය ඇමතිවරයාට පවසා තිබිණි.

කොන්දක් සහිත නායකයෙක් පත් කරගැනීම සඳහා  අල්තාරය මත දේශපාලන කළ කාදිනල් තුමා ලංකාවේ මජර දේශපාලනයේ ස්වරූපය මේ වනවිට අත්දැකීමෙන්ම අවබෝධ කරමින් සිටිති. උන් වහන්සේ වෙතත් ඉදිරියේ දී බලගතු දේශපාලනික කුමන්ත්‍රණ,   මඩගැසීම් සහිත අවකල් අශිෂ්ඨත්වය  සහිත අසංස්කෘතිය මුදා හැරීමට නියමිතය. එහි සොබා ලකුණු පහළ වෙමින් තිබේ.

මේ සටහන තැබෙන්නේ ඒ සංක්‍රාන්ති කාලය තුළය.

easter-attack
කටුවාපිිටිය

දෙවියන් දකින්නට පල්ලියට පැමිණි කතෝලික ජනතාවගෙන් 291ක් ඝාතනය කරමින්, සියයකට ආසන්න පිරිසක් සදාකාලික ආබාධිතයන් කරමින්, පවුල් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් සුණු විසුණු කළ මේ මහා අමනුස්සකම දේශපාලන පාදඩකම්වලින් නොවසන සේ කරන මානුෂික ඉල්ලීම ලෝකය පිළිගත් ලාංකික ආගමික නායකයෙක් විසින්  ඉල්ලා සිටින විට රජය ප්‍රකට කරන මේ හැසිරීම මොහොතකට අපව තිගස්සන සුළුය.

මේ හැසිරීම ලෝකයට පෙන්වන කාරණාවක් තිබේ. මේ වාර්තාවේ අන්තර්ගතය  ගැන කාදිනල්තුමා යම් පමණකට දැනුවත් බවය. එහි පිටපතක් ඉල්ලන්නේ ඒ දැනුවත් කමින් යුතුව බවය.  ආණ්ඩුවේ හැසිරීමෙන් පෙනෙන්නේ කාදිනල් තුමාට පෙන්විය නොහැකි යමක් මේ වාර්තාව තුළ තිබෙන බවය.

කොමිසමේ  පිටපතක් නොලැබුණහොත් ආණ්ඩුවට විය හැකි අගතිය  ගැන කාදිනල් තුමා අනතුරු හඟවා තිබේ. තමන් ඒ තැනට තල්ලු නොකරන ලෙස ද උන්වහන්සේ රජයෙන් ඉල්ලා ඇත.  එය නොදීමෙන්  සිදුවිය හැකි අනතුර ගැන දැන දැන,  කාදිනල් හිමියන්ට පිටපතක් ලබා දීමට වඩා  පැමිණිය හැකි අනතුර භාර ගැනීමට රජය සූදානම් වීම කොමිසමේ නිර්දේශවල ඇති බරපතලකම ගැන රටට කියනු පෙනේ.

දැන් මේ කතාව කියවා ගත යුත්තේ මේ අපරාධයේ ප්‍රතිලාභ භුක්ති විඳින්නන් ගැන අවබෝධය ද සහිතවය. හැට නව ලක්ෂයක ජන වරම හැදෙන්නේ  මේ අපරාධයේ වින්දිතයන් වූ අසරණ මිනිසුන්ගේ ජීවිත අඳෝනාව පදනමේය. ඒ ජනවරමේ මේ මිනිස්සුන්ගේ රුධිරය සහ මරණීය වේදනාව ගැබ් වී තිබෙන්නේය.  එහෙත් මේ සිද්ධි සමාලෝචනයේ දී අප අමතක කළ කතාවක් තිබේ.  ඉන්දියාවෙන් ලැබුණු බව කියන අනතුරු හැඟවීම රජයේ වගකිව යුත්තන්ට පමණක් නොව රටේ විපක්ෂ නායකවරයාට ද ලිඛිත දැනුම් දී ඇති බවය.  මෙම අනතුරු හැඟවීම සම්බන්ධව ඒ අවස්ථාවේ දී රටේ රජය පමණක් නොව වගකිව යුතු විපක්ෂයක් ලෙස මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ද රට වෙනුවෙන් ක්‍රියාත්මක වුනේ නැත.  ඔවුන් කළේ බෝම්බ ගසා කුඩු වී ගිය විට තමන්ගේ නිවේදනය  මාධ්‍යයට ඉදිරිපත් කිරීමය. එදා මේ දේශපාලන සිඟාලකම සිදු වී ඇති මහා විනාශයේ අඳෝනාවෙන් වැසී ගියේය.

විවර වෙමින් ඇත්තේ මේ වැසී ගිය කඩතුරාව දැයි දැන් සැකයක් ඇති වෙමින් තිබේ. කාදිනල්තුමා ප්‍රශ්න කරන්නේ ඒ යථාර්ථය ය.

මුල සිටම මේ රටේ සබුද්ධික මිනිස්සු   මේ සිද්ධිය මරාගෙන මැරෙන උමතු ත්‍රස්තවාදීන් කිහිප දනෙකුගේ හුදකලා ක්‍රියාවක් නොවන බව  විශ්වාස කළහ.  ඒ  අවබෝධයට පැමිණිය හැකි  බොහෝ  සිදුවීම් පෙළ ගැසී තිබිණි.  මේ ඝාතකයන් සමග සිට මරාගෙන මැරෙන සියලු සිද්ධි මෙහෙයවමින් රැඳී අවසාන මොහොතේ කිසිවෙකුටත් නොදැනෙන සේ අතුරුදන් වී දැනට ඉන්දියාවේ ජීවත්වන කටුවාපිටිය බෝම්බ කරුගේ බිරිය වූ පුලස්තිනි රාජේන්ද්‍රන් හෙවත් සාරා නැමැති ගැහැණිය ඉන්දියාවේ නිරුපද්‍රිතව මේ මොහොතේ ජීවත් වෙමින් සිටීම මේ මහා සැකය සරල මූලික කාරණාවය.

ඇය බේරුණේ කෙසේද, ඇය  ඉන්දියාවට පැන ගියේ කෙසේ ද, ඇය දැන් ඉන්දියාවේ රැකවරණය තුළ ඉන්නේ කෙසේ ද, මේ අපරාධයේ ප්‍රධානම ජීවමාන අපරාධකාරිය වූ මේ ගැහැණිය  මේ රටේ අධිකරණයක් ඉදිරියට ගෙන්වීමට ගත් රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණු මොනවා ද, ඒ සංවාදය සිදු නොවන්නේ නම්  ඊට බලපෑ හේතුව කුමක් ද?, ඉන්දියාව මේ ගැහැණිය ආරක්ෂා කරන්නේ  කුමණ පදනමකින් ද යන සරල මූලික කාරණාවලට උත්තර තවමත් නැත.

පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා

මේ  සමූහ ඝාතකයන් සම්බන්ධව අවසන් විස්තරය ඉන්දීය බුද්ධි අංශවලින් ලැබී තිබිණි.  එහෙත් මේ ඝාතකයන්ගේ ස්වරූපය, ඔවුන්ගේ මූලධරමවාදී  හැසිරීම්, අයි.එස්. ආකල්පව ව්‍යාප්තවන ආකාරය,  අනතුරකට තල්ලුවිය හැකි අවස්ථා සම්බන්ධව පූර්ණ විස්තර එක් එක් ඝාතකයා  සම්බන්ධ ලිපි ගොනු ලෙස බුද්ධි අංශය විසින් නඩත්තු කරගෙන තිබිණි.  ඝාතනය සිදුවී පැයක් දෙකක් යනවිට මේ අපාරධකාර ඝාතකයන් ඔවුන් විසින් හඳුනා ගත්තේය.  මේ සිද්ධි දාමය වනවිට  රජයේ හමුදාවල පැවති මානසිකත්වය පැවතුන රජයට හිතකර තත්වයක නොතිබුණු ආකාරය පැහැදිලි වෙමින් තිබිණි. දෙමළ ඩයස්පෝරාවට ගැති සේ හැසිරෙමින් රටේ හමුදාව විෂයෙහි හැසිරුණු අලජ්ජී හැසිරීම යුද හමුදාවේ මතු නොව  යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දර දිය අදින ලද මැදහත් මිනිසුන් සියලු දෙනාගේම ගර්හාවට ලක් වූයේය. යුද හමුදා බුද්ධි අංශ පිලිබඳ යහපාලන රජය හැසිරෙමින් සිටියේ අතිශය නින්දිත ආකාරයෙනි. මේ සියල්ල අතරේ   යුද සමයේ සිටි බුද්ධි ප්‍රධානීන්ගේ  හැසිරීම්වල ස්වරූපය අතිශය  ගැටලු කාරී තැනක වූ බවත් ඔවුන් විදේශීය ඔත්තු සේවාවල ඒජන්තයින් සේ හැසිරෙන ආකාරයත් එළිපිට කතා බහට ලක්වූ දේශපාලන පරිසරයක් නිර්මාණය වී තිබිණි.

කාදිනල් තුමා ප්‍රශ්න කරන්නේ මෙන්න මේ වටපිටාව තුළ ගොඩනැගුණ ම්ලේච්ඡ කුමන්ත්‍රණය කුමක් ද යන්නය.  රජයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන නිවාස ඇමති විමල් වීරවංශ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ  රෝ ඔත්තු කාරයෙක්  බව කියන විට  ඒ කතාවට පදනම කුමක් දැයි මේ රට ප්‍රශ්න කළේ නැත. ඒ කතා කරන්නේ විමල් වීරවංශද නැතිනම් චීනය දැයි කිසිවෙක් විමසුවේ නැත.  ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක යෙදෙන ආයතනයක් සේ  රටක් කියන පාත් ෆයින්ඩර් ආයතනයේ උපදේශකයෙකුට රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින්ම රෝ  ඔත්තු කරුවෙක් යැයි කියනවිට ඔහුව ජානධිපතිවරයාගේ  විදේශ කටයුතු පිළිබඳ   අතිරේක ලේකම් ලෙස පත් කරගෙන    අනතුරුව රටේ විදේශ ලේකම් තනතුරට උසස් කර   ජාත්‍යාන්තරය සමග ගනුදෙණුවට යවන රටක මේ සිදුවෙමින් ඇති සිද්ධි දාමය හුදු අන්ධභූද අහම්බයන් නොවන බව තේරුම් ගත යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මුල මැද අග නැති කුමන්ත්‍රණ ජාලයට ෆ්ලෑෂ් ලයිට් වදින්නට ඉඩ නොදනෙ බව කාදිනල් තුමා විසින් දැන් ලෝකයට අනාවරණය කර හමාරය. දැන් මේ අප ගතකරමින් සිටින්නේ විකල්වුණු තත්වයකය. මවාගත් දියසේන නැත. වැඩකරන විරුවන් නැත. ප්‍රාර්ථනාකළ දියුණු සමාජය නැත.  කිසිවෙක් ගැන තබා කාදිනල් තුමා ගැනවත් විශ්වාසයක් නැත. විශ්වාස තබන්නට බිය වූ මිනිසුන් සහිත සමාජයක් යනුම ඛේදවාචකයකි. අප ඒ ඛේදවාචකයේ ගොදුරුයි.

 

 

 

 

 

 

Exit mobile version