එදා ප්‍රමුඛතා මංතීරු ගෙනාවේ පොදු ජනතාව වෙනුවෙන් මගී ප්‍රවාහන බස් එකට ඉඩක් දෙන්න…

 අද වනවිට “ජෑම්“ වී ඇති මං තීරුවට  මුල පිරූ  නියෝජ්‍ය පොලිස්පති කියන කතාව

ප්‍රමුඛථා මංතීරුවකින් මූලිකව බලාපොරොත්තු විය යුත්තේ බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවා වාහනවලට වැඩි ප්‍රමුඛතාවක් ලබා දීම බවත් එයින් පෞද්ගලික තනි වාහනවලට ප්‍රමුඛතාවක් අපෙක්ෂා නොකළ යුතු බවත්  ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මෙරට මාර්ග පද්ධතියට හඳුන්වා දීමට මුල්වූ රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න සඳහන් කරයි.

Amarasiri-Senarathna
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න

මේ දිනවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වන ප්‍රමුඛතා මංතීරු ගැන  ඇති වී තිබෙන සංවාදයත් සමග එම සංකල්පය  මෙරටට හඳුන්වා දීමට මූලික වූ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව අදහස් විමසීමට ලංකාසර කටයුතු කළේය. එහිදී ඔහු අවධාරණය කළේ පොදු ප්‍රවාහන සේවය දියුණු වීමට නම් එය කාර්යක්ෂම ලෙස සුවපහසු ලෙස ජනතාව ගමන් කරන ප්‍රවාහන මාධ්‍යයක් විය යුතු බවය.  වැඩි පිරිසක් එකවර ගමන් කරන බස් රථවලට පාසල් ළමයින් සහ කාර්යාලයීය සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ වලට වැඩි පුමුඛතාවක් මාර්ගයේදී ලැබිය යුතු බවය.

කෙසේ වුවද මෙම තීරුවේ ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් ධාවනය කිරීම පිළිබඳව ඔහු දක්වන්නේ මෙවැනි අදහසකි.


“ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක මාර්ග කොටස් බොහෝ විට නගර ආශ්‍රිත ප්‍රදේශවල. මගී බස් රථයක් ධාවනය කිරීමේදී නගර ආශ්‍රිත උපරිම ධාවන වේගය නීතියට අනුව පැයට කිලෝ මීටර් 50 ක්. එසේම ත්‍රී රෝද රථයක උපරිම වේගය පැයට කිලෝ මීටර් 40 ක්. මගී බස් රථ ධාවන තීරුවට ත්‍රී රෝද  සහ යතුරු පැදි එක් කළ විට මගී බස් රථ බාධාවකින් තොරව ගමන් කිරීමට බාධාවක් එල්ල වෙනවා. ප්‍රමුඛතා මංතීරුව හදුන්වාදීමේ අරමුණ මේ තුළින් ඉටුවන්නේ දැයි ගැටලුවක් පැන නගිනවා.“

ප්‍රමුඛතා මංතීරු නීතිය නිසා ඇති වී තබෙන තදබදය

“අධික මාර්ග තදබදයට හේතුව පෞද්ගලික වාහන අධික ලෙස මාර්ගයේ ධාවනය වීමයි.  සාමාන්‍යයෙන් කාර් එකක් කුඩා වෑන් රථයක් ගමන් එන්නේ උපරිම වශයෙන් හතර දෙනෙක්. එහෙම ගියත් එක බස් එකක යන පිරිස ගෙන යන්න ඒ වගේ වාහන 10කට වඩා අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නිසි ලෙස ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවයක් තිබෙනවා නම් එයින් පාරේ තදබදය අපට සෑහෙන්න අඩු කළ හැකියි. එහිදී බස් රථවලට පමණක් වෙන්වූ මං තීරුවක් ඉතාම වැදගත්.  මගී ප්‍රවාහන බස් රථ ප්‍රමුඛතා මංතීරුව මගී බස් රථ ධාවනයට පමණක් වෙන් නොකර රටේ වැඩිම වාහන සංඛ්‍යාවක් ඇති ත්‍රී රෝද රථ සහ යතුරුපැදිත් එම මංතීරුවටම යොමු කර පුද්ගලික සුඛෝපභෝගී වාහන ධාවනයට මංතීරු දෙකක් හෝ තුනක් ලබාදෙමින් මේ සිදුකරන්නේ ඉදිරියේදී රථ වාහන තදබදය තවත් තීව්‍ර කරන්නක්.“ බව සේනාරත්න  වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ වුවද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ පිට පළාත්වල සිට පැමිණෙන දිගු දුර ධාවනය කෙරෙන බස් රථ මෙම ප්‍රමුඛතා මං තීරුවෙන්ම ගමන් කිරීමට සීමා නොකොට එම බස් රථවලට වෙනත් මංතීරුවක්ද භාවිත කිරීමට ඉඩක් ලබා දීම වැදගත් බවයි. එසේ නොමැති වුවහොත් එවැනි බස්රථවලට ගමනාන්තයට ළඟා වීමට සෑහෙන වෙලාවක් ගත විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රමුඛතා මංතීරු ක්‍රමය දීර්ඝ අධ්‍යනයකින් පසු හදුන්වා දුන්නේ 2014 වසරේදීය. එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ සඳහා විශාල පිටුවහලක් ලැබුණු බවත් සේනාරත්න සඳහන් කළේය. එමෙන්ම මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් සහ කරුණු අධ්‍යයනය  කිරීමකින් අනතුරුව මගී බස් රථ සදහා වෙනම මංතීරුව හදුන්වා දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම අධ්‍යයනයේදී එවකට සිටි ප්‍රවාහන ඇමති ලසන්ත අලගියවන්න   සමග බස් රථයකින් ගමන් කරමින් ප්‍රායෝගිකව ඇමතිවරයාව දැනුවත් කිරීමට පවා  කටයුතු කළ බවත් 2015 වසරේ ආණ්ඩු වෙනසින් පසු එම වැඩ සටහනට ලැබූ තිබුණු ප්‍රමුඛතාවය හීන වූ බවත් සේනාරත්න   පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවතත් වත්මන් ආණ්ඩුව යටතේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වූවත් ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ තනි පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් පැමිණෙන සුඛෝපභෝගී වාහන වෙනුවෙන් බව පෙනී යන බවත් සේනාරත්න   පැවැසීය.  අධික රථවාහන තදබදයට පිළියම් සෙවීමේදී පොදු මගී ප්‍රවාහන පද්ධතියට ජනතාව හුරුකිරීම වෙනුවට පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන මගියා ඔහුගේ පුද්ගලික වාහනයෙන් ගමන් කිරීමට උනන්දු නොකල යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Exit mobile version