උවදුරු සමයේ බිඳ වැටෙන්නට ඉඩ නොදී දරුවන්ගේ මනස ශක්තිමත් කරමු

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන

කොරෝනා වසංගතය පැතිර යෑම නිසා පළමු ආරක්ෂිත පියවර ලෙස ගැනුනේ පාසැල් වසා දැමීමය. මාර්තු මැද වසා දැමූ පාසැල් තවමත් විවෘත කර නැත. පාසැල් සිසුන්ට අතපසු වන පාඩම් අන්තර් ජාලය මගින් සිසුන්ට ලබාදී නිවසේ සිට එම පාඩම් වැඩ කරන්නට අවස්ථාව ගුරුවරු අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් ප්‍රකාරව ලබාදී ඇත.

මෙහිදී ඇතිවී තිබෙන ප්‍රායෝගික ගැටළු කිහිපයක් ගැන සමාජය තුළ කතිකාවක් නිර්මාණය වෙමින් පවතී. එනම්

1) අන්තර්ජාල පහසුකම් හෝ ස්මාර්ට් දුරකථන නැති දරුවන් රාශියක් සිටීම.


2) පාසැලෙන් ලැබෙන පාඩම් වැඩ බාගත කරගැනීමට ඩේටා සඳහා සැලකිය යුතු තරම් මුදලක් වැයවීම. එය මෙවැනි ආර්ථික වශයෙන් පීඩාකාරී කාලයක දැරීම අපහසු වීම

3) නිවසේ සිට රාජකාරි කරන මව්පියන්ගේ පරිගනක, ජංගම දුරකථන දරුවන්ගේ කටයුතුවලට ලබාදීමට සිදුවීමෙන් ඇතිවී තිබෙන රාජකාරිමය බාධාව

4) දරුවාට දිනකට ඔරොත්තු නොදෙන තරම් පාඩම් වැඩ රාශියක් එවීම නිසා දරුවා පීඩාවට පත්වීම

5) ඉහත සියලුම හේතු නිසා මව්පියන් සහ දරුවන් මානසික වශයෙන් පීඩාකාරී තත්වයකට පත්වීම

මේ කාරුණු පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ නිසි අවදානය වහාම යොමුවීම ඉතා වැදගත්ය.  මක්නිසාද යත් පාසැලි විවෘත කරන දිනයක් පිළිබදව තවමත් නිශ්චිත දිනයක් නොමැති බැවින් මේ තත්වය දිගින් දිගටම පැවතුනහෝත දරුවන් මානසික රෝග වලට ගොදුරුවීමේ අවදානමක් ඇති බැවිණි.

කෙසේද යත් පහත කරුණු සලකා බැලීමෙන් වටහා ගත හැකිය.

1) මේ ගෙවෙන්නේ වසංගත රෝග සමයකි. ඒ සදහා ප්‍රතිකාර ලෙස නිශ්චිත ඖෂධ හෝ එන්තක් හෝ තවමත් නැත.

2) මේ මොහොතේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගැනීම වැදග්ත බව සෞඛ්‍ය අංශ අවධාරණය කරති. ඒ සදහා පෝෂ්‍යදායී ආහාර, විවේකය, ප්‍රමාණවත් නින්ද, සහ සුවපත් මානසිකත්වය වැදගත් බැවින් ඒවා අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දෙති.

3) මේ මොහොතේ නිවාසවල සිරවී සිටින දරුවන් සෑමදෙනාටම සුවපහසු, ඉඩකඩ සහිත , ක්‍රීඩාකිරීමට මිදුල් ඇති නිවාස නැතිවීම. ඉතා කුඩා ඉඩකඩ සහිත නිවෙස්වල සිරවී සිටින දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු තරම් විශාල වීම.

4) රටේ ආර්ථිකය කඩා වැටීම, ඉපැයීම්වලට ඇතිවී තිබෙන බාධා , වැටුප් කප්පාදු ආදී කරුණූ නිසා එදිනෙදා දුෂ්කරතා සහිතව ආහාර පාන හිගවූ පවුල්වල සිටින දරුවෝද විශාල ගණනක් වීම.

5) මෙවන් තත්ව ඇති පවුල්වලට  දරුවන්ගේ පාඩම් වැඩ වෙනුවෙන් ඩේටා සඳහා වියදම් කිරීමට විශාල මුදලක් වැය කළ නොහැකි වීම. එපමණක් නොව රාජකාරි කටයුතුවලට බාධාවන අයුරින් තාක්ෂණික උපාංග සහ උපකරණ දරුවන්ට ලබාදීමට නොහැකි වීම.

6) තවද රාජකාරි ඇති මව්පියන්ට දරුවන් සමග එක්ව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු  කිරීමට වේලාවක් නැතිවීම.

7) පාසැල් පටන් ගත් කලෙක තම දරුවාට මෙම පාඩම් නිසි පරිදි උගන්වා නොතිබුනහොත් ප්‍රශ්න ඇති වේ යැයි බියක් මව්පියන්ට සේම දරුවන්ටද ඇතිවී තිබීම

8) මෙම කරුණු  සියල්ල එක්ව දරුවා සහ පෙළණු ලැබීමෙන් මානසික කායික වශයෙන් පීඩාවට පත්ව දරුවාගේ ප්‍රතිශක්තිය හීනවීම සිදුවිය හැකිය

9) එමගින් වෙනත් වෙනත් රෝගාබාධවලට දරුවා ගොදුරුවීමට ඉඩ තිබීම. වැදගත්ම කරුණ නම් මෙම පීඩාවන් හේතුවෙන් දරුවා නිතර කෝපයට පත්වීම, නොසන්සුන් වීම, නින්දට බාධා ඇතිවීම, පාඩම් වැඩවලින් බැහැර වීම, මුරණ්ඩුවීම, කළහ කිරීම ආදී ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගැනීමය. මෙය මානසික ආතතියේ මුල් ලක්ෂණ විදහා පෑමකි. මේ වනවිටත් මව්වරුන් දරුවන්ගේ මෙම තත්ව දකිමින් සිටින අතර මෙම අධික පාසැල් වැඩ එවීම සම්බන්ධව අප්‍රසාදය පළකරමින් සිටිති.

මෙය කිසිසේත්ම යහපත් තත්වයක් නොවේ . දරුවන් සමබන්ධව මෙවැනි වටපිටාවක් ඇති නොවීම සඳහා වහාම පිළියම් යෙදීම අධ්‍යාපන බලධාරීන්ගේ, ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද  වගකීමකි.

1) දරුවාට ගෙදරට එවන වැඩ ප්‍රමාණයෙන් ¾ ක් අඩුකිරීම. ඔහුට නිවසේ හැකි අයුරින් සතුටින් සිටීමට ඉඩ ලබාදීම

2) පාසැල ආරම්භ කළ දිනක සෙනසුරාදා දිනක හෝ පාසැල පවත්වා අතපසු වූ පාඩම් ඉගැන්වීම.

3) මේ වසරට අදාල විෂය නිර්දේශය මේ වසරේ අවසන් කළ නොහැකි නම් ලබන වසරේ මුල් කාර්තුවේ හෝ සෙනසුරාදා දිනවල ඉගැන්වීමට යොදාගැනීම

4) දරුවන් රෝගීවීමට හේතුවන මානසික පීඩනවලින් ඔහු මුදවා තැබිමට කටයුතු කිරිම.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


5) වඩා වැදගත් වසංගතයෙන් බේරී සිටීම බැවින් එහිදී දරුවාගේ ආරක්ෂාවට දී තිබෙන වැදගත්කම දිගටම රඳවා ගැනීම වැදගත්ය. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි තීරණාත්මක විභාගයන්ට මුහුණ දෙන්නට නියමිත සිසුන් හැර අනෙක් දරුවන් කෙරෙහි සැහැල්ලු ප්‍රතිපත්තියක් ඇති කිරීම කළ යුතු වේ. එය රටේ අනාගතය වෙනුවෙන් ලබා ගතහැකි යහපත් ප්‍රවේශයකි.

Exit mobile version