උඳුවප් පෝ දා සිදුවූ ලංකාවේ දැවැන්තම බෝධිවෘක්ෂ රෝපණ මංගල්‍යයේ කතාව….

උස අඩි 40යි... කඳේ වට ප්‍රමාණය අඩි 28යි... බර ටොන් 46...

ආගමික විශ්වාස මත බැඳුණු සංස්කෘතික සාධක සම්බන්ධව ගනුදෙණු කළ යුත්තේ අතිශය සංවේදී දෘෂ්ඨියකිනි. අප මේ ගතකරමින් ඉන්නේ කොවිඩඩ් මලමිනී සමග කරන අසංවර දේශපාලනයක් නිසා සංස්කෘතික වශයෙන් වේදනාවට පත් සමාජ කොටසක වේදනාව සමාජ සංහිඳියාව දෙදරවා දමන්නට ආසන්නය.

මෙවැනි සංවේදී කාරණා කළමනාකරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ වූ ගෞරවණීය ආදර්ශයක් අද පොහොය දිනයේ රටට ලැබී තිබිණි. ඒ කපා විනාශ කරන්නට ගිය බෝධි වෘක්ෂ රාජයෙක් සම්බන්ධව සිදුකළ අතිශය ප්‍රායෝගික මෙන්ම ඉතිහාසගත ක්‍රියාන්විතයක් පිළිබඳවය.

බෞද්ධයා බෝධියක් සලකන්නේ හුදු වෘක්ෂයක් ලෙසින් නොවේ. එය බෞද්ධ සංස්කෘතිය තුළ බුදුන්වහන්සේ සංකේතවත් කරනු ලබන ලකුණකි. බෝ අත්තක් කපන්නට හෝ නොපෙළඹෙන්නේත් වෙනකෙකු හෝ සිඳ දැමූවිට අප්‍රමාණ වේදනාවට පත්වන්නේත්, මේ සංස්කෘතික ඇගයීම බෞද්ධයෙකුගේ සිත් ගැඹුරෙහි තැන්පත්ව ඇති බැවිනි.


මේ බෝධි ප්‍රශ්නය මතුවූයේ හලාවත මාරවිල ප්‍රදේශයේය. සිංගප්පූරු ආයතනයක් වූ මාරවිල ග්‍රීන් ෆාම් ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ල සහිත මිදුලේ මේ දැවන්ත බෝධි වෘක්ෂයක් පිහිටා තිබුනේය. සියවස් කාලයක් පවතින්නට ඇතැයි සිතිය හැකි මේ වනස්පතිය උසින් අඩි 40කට වැඩිය. වට අඩි ප්‍රමාණය අඩි 28කින් යුතුය. එහෙත් මේ වෘක්ෂය සමාගමේ ප්‍රායෝගික කටයුතු කළමනාකරණය කරගැනීමට  අවහිරයක් වූයේය.

මූල මණ්ඩලයට හානි නොවන සේ වටේ පස් ඉවත් කිරීම

කපා ඉවත් කිරීම

යෝජනාව වූයේ මේ දැවැන්ත බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීමය. ඒ සඳහා සමාගමේ කළමනාකාරිත්වයට  යෝජනා ඉදිරිපත් විය. එහෙත් බෝධියක් කපා ඉවත් කිරීම සමාජය රිදවීමක් විය හැකිය යන සාක්ෂරතාවය විජාතිකයන් වුවත් මේ සමාගම් කළමණාකාරිත්වයට තිබිණි. කළ යුතු දේ පිළිබඳ ඔවුහු විටින් විට සාකච්ඡා කළහ.

මේ අතර ප්‍රදේශවාසීන්ගේ හා සමාගමේ ඉල්ලීම මත මේ ගැටලුව විසඳීමට  දක්ෂණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ මැදිහත් වූහ. මේ දීර්ඝ සාකච්ඡාවාර අතරතුර විශේෂ සිදුවීමක් වාර්තා විය. එනම් බෝධිය ඉවත් කිරීම සඳහා සූදානම්ව එයට හානි කරන පුද්ගලයන් යම් යම් උපද්‍රවවලට ලක්වන බවට වූ කතාවය. මේ හේතුවෙන් කළමනාකාරිත්වයත් හිතූ මතේ වෘක්ෂය ඉවත් කිරීමට කටයුතු කරන පුද්ගලයන් නවතා දැමුවේය.

මේ සංවාදය යන අතර තුරු කිසියම් කටයුත්තක් වෙනුවෙන් සිංගප්පූරුව බලා වැඩමකළ නාමියන් දකින්නට ග්‍රීන් ෆාම් සමාගමේ එරට කළමණාකාරිත්වය පැමිනුණේය. බෝධිය සම්බන්ධව ගත හැකි තීන්දුව ගැන ඔවුහු හිමියන්ව විමසූහ. අවසාන එකඟතාවය අඩි 40ක් උස, අඩි 28ක් වටප්‍රමාණ සහිත ටොන් 46ක් බර මේ  බෝධි වෘක්ෂය නවීණ විද්‍යාත්මක තාක්ෂණය අනුව තිබූ තැනින් ඉවත් කර රෝපණය කිරීමට උචිත පන්සලක් හෝ වෙනත් පූජනීය භූමියක් සොයා එහි රෝපණය කිරීමය.

අවසානයේ සෝබිත හිමියෝ මේ බෝධීන්වහන්සේ රෝපණය කළ හැකි පන්සලක් හෝ වෙනත් ස්ථානයක් ගැන විමසිලිමත් වූහ. පුවත්පත්වල දැන්වීම් පලවිය. දැන්වීම් ගණනාවක් පලකිරීමෙන් පසු පන්සල් 22 කින් මේ සඳහා ඉල්ලුම්පත් ලැබිනි.

බෝධීය තිබුණු තැනින් ගලවන්නට සැරසෙමින්…

සෝබිත හිමියන් ඇතුළු මණ්ඩලයක් ඒ ඉල්ලුම්පත් අතරින් බෝධිය රෝපණය සඳහා බිංගිරිය රත්නායකපුර අරියධම්මාරාමය තෝරාගෙන ගත්තේය. සමාගමට මේ තින්දුව දැනුම් දෙනු ලැබිණි. ඉතා සූක්ෂමව පිහිටි බිමෙන්  බෝධිය ගලවා මාරවිල සිට කිලෝ මීටර හැටක් ඇතින් පිහිටි බිංගිරිය රත්නායකපුර අරියධම්මාරාමයට බෝධි වෘක්ෂය වැඩම කරවනු ලැබූහ.

මෙපමණ දැවැනත් බෝධි වෘක්ෂයක් මේ ආකාරයෙන් රෝපණය වන්නේ ඉතිහාසයේ මුල්ම වතාවට විය යුතුය. එය එක් සංසිද්ධියකි. වඩාත්ම වැදගත් වන්නේ සමාජය තුළ සිත් රිදවීම් නොවී සංස්කෘතික ගැලුවක් කළමනාකරණය කරගත් ආකාරය ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටක් ලෙස ආදර්ශයට ගතහැක්කේ එවැනි බුද්ධිමත් ප්‍රවේශයන්ය.

 

 

Exit mobile version