ඉබි යතුරු දමාගෙන කිරි හරක් හදන මිනිස්සු…

මනම්පිටිය නිමල් ජයරත්න – 

දිනෙන් දින ඉහළ යන ගව සොරකමට පිළියම් සොයා ගත නොහැකිව     ගවයන්ගේ ගෙළට  යකඩ දම්වැල් සහ ඉබි යතුරු දමා හරක් හොරුන්ගෙන් තම ගවයින් ආරක්ෂා කරගැනීමට  වෙහෙසෙන කිරි ගොවීන් පිරිසක් සම්බන්ධව   දිඹුලාගල මනම්පිටිය මලියදේවපුර, නාමල්පොකුණ, සොරිවිල ගම්මානවලින් වාර්තා වේ.

හරක් හොරුන්ගේ අශිෂ්ට තර්ජනයට ලක්වූ  නාමල්පොකුණ ගම්මානයේ කිරි ගොවීන් පවසන්නේ පසුගිය   මාස තුනක් ඇතුළත තම ගම්මානයේ පමණක්  කිරි ගවයින් තිහක් පමණ සොරකම් කර ඇති බවය.

මේ පිළිබඳ පොලිසිය වෙත පැමිණිලි කළ ද  කිසිදු විසඳුමක් නොමැති බව ඔවුහු අප සමග කීහ.

ඔවුන් පවසන්නේ මේ තිරිසන් ගව හොරුන් පුදුමාකාර අමානුෂික අශිෂ්ඨයින් බවය.  “ පහුගිය දවසක  ගවයෙක් කඹයකින් ගහක ගැටගහලා ඉද්දි  පණ පිටින්ම ඒ සතාගේ ගාතයක් කපාගෙන ගිහින් තිබුණා… අනේ තව පැටියෙකුත් ඒ එක්කම ආ ගිය අතක් නෑ..”  වසර දහතුනක සිට කිරි ගවපාලනයේ නිරත වන ඊ.ඒ, කල්‍යාණි  පැවසුවාය.


නදීෂා සහ කල්‍යානි

මෙම තත්ත්වය මත තම ගම්මානවල කිරි ගොවීන් යකඩ දම්වැල්, හා ඉබ්බන් යොදා කිරි ගවයින් ආරක්ෂා කරගැනීමට සිදුව ඇති බවත් ගොවීහු කීහ.

“එ් යකඩ දම්වැල් කිලෝ එකක්   රුපියල් 850 ක්….   යතුරු සහිත ඉබ්බෙක්   රුපියල් පන්සියයක්… මේ තත්ත්වය අපිට වගේම සතුනටත් කරදයක්.    නාමල්පොකුණ, මලියදේවපුර හැම ගමකම දැන් කිරි හරක් ටික බේරගන්නේ එහෙමයි.”   ඊ.ඒ, කල්‍යාණි  වැඩි දුරටත් කීවාය.

දිඹුලාගල අවට කිරි ගොවීන් පවසන්නේ    තමන් පොලීසියට අවස්ථා ගණනාවක මේ තත්ත්වය සම්බන්ධව  පැමිණිලි කළද කිසිදු හොරෙකු අල්ලා ගැනීමට නොහැකි වූ බවය.

හරක්  හොරුන් වැලැක්වීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නොකළහොත් තමන්ට කිරිගව පාලනයෙන් ඉවත් වීමට සිදු වන බවද දිඹුලාගල නාමල්පොකුණ හා ඒ අවට කිරි ගොවීන් කියති,

“ගහක බැඳලා හිටිය මගේ  එළුවෙකුගේ ගාතයක් කපාගෙන ගියා…  මේ අපරාධය ගැන දන්වන්න ඕන හැමෝටර දැන්නුවා. මේක දරාගන්න බැරි දුකක්…   පශු සම්පත් අමාත්‍යාංශය මෙන්ම අදාළ බලධාරීන්  මේ ගැන අවධානය යොමුකරලා අපේ සතුන්ගේත් අපේත් ජීවිත සුරක්ෂිත කරන වැඩපිළිවෙළක් හදන්නේ නැතිනම් අපි හැමෝම විනාශ වෙයි. අවුරුදු 22ක් මම කිරි ගව පාලනයෙ  යෙදෙනවා… මෙහෙම අපරාධවලට මුහුණ දෙන්න උනේ මෑතකදි…”   වසර විසිදෙකක පමණ කාලයක සිට කිරි ගවපාලනය නිරත වන නදීෂා ශිරෝමි පෙරේරා   පැවසුවාය,

ප්‍රදේශයේ කිරි ගොවින්ගේ පොදු චෝදනාවක් තිබේ. ඔවුන් කියන්නේ පොලිසිවල ඇතැම් උසස් නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන් ද මේ හරක් හොරුන් සමග සම්බන්ධතා පවත්වන බවය. හරක් මස් ජාවාරම්කරුවන් සහ හරක් හොරුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නොහැකි වන්නේ ඒ නිසා බවය.,

අප මේ පිළිබඳව මනම්පිටිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු  සඳහන් කළේ  මනම්පිටිය ප්‍රදේශයේ  හරක් හොරුන් කීපදෙනකු අල්ලා ගත්  බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම කිවේය. හරක් හොරකමට ඇතැම්  ගව පාලකයින් ද සම්බන්ධ යැයි මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

Exit mobile version