ලොක්ඩවුන් අතරේ බයිලා රජවරු ගයපු සුපිරිම ගීය

බයිලා රජු වොලී බැස්ටියන් ගැයූ බිව්වා නේද වදකහ සුදිය ඔබ අහලා තියෙනවනේ… මේ ගීය නිර්මාණය වෙන්නේ හරි අපුර්ව ආකාරයට

ඒ 1950 වර්ෂයේ ලංකාවට සම්පූර්ණ සුර්යග්‍රහණයක් ඇති වෙනවා. ඒ සිදුවීම පදනම් කරගෙන ඒ කාලෙ  ලංකාදීප පුවත්පතේ  “සුර්යග්‍රහණය ඇති වන අවස්ථාවේ කාටවත් නොපෙනී වද කහ යුෂ පානය කළ විට කළු පැහැති සමක් ඇති කාන්තාවන්ට පැහැපත් සමක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ලිපියක් පළ වෙනවා.

මේ කතාවට රැවටුණු බොහොමයක් කාන්තාවන් පැහැපත් වීමේ අරමුණින් වදකහ පානය කරනවා. අවසානයේ පැහැපත් බව කෙසේ වෙතත් බඩේ අමාරුව නම් සදා ගත් බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මෙන්න මේ සිදුවීම මුල් කරගෙනයි බිව්වා නේද වදකහ සුදිය ගීතය නිර්මාණය වන්නේ.


මේ ගීතය නම් එදා සේම අදටත් ජනප්‍රිය ගීයක්….

මම මේ අතීතය මතක් කරන්න හිතුවේ කාලෙන් කාලෙට සිදුවන සිද්ධීන් එක්ක   ගීත ලෝකයට හරි අපූරු නිර්මාණ බිහිවෙනවා.

අද අපි ඉන්නේ ලෝකයටම ගොදුරක් වූ කොරෝනා උවදුරත් එක්කනේ. ඉතින් මේ දවස් වල සාමාන්‍ය ජන ජීවිතය එහෙම නැත්නම් මෙතෙක් හුරු වෙලා හිටිය ජිවන රටාව ටිකක් වෙනස් කරන්න වෙලා තියෙනවා. ඒ අතර බොහෝ දෙනෙක් ට බලපාල තියෙන දෙයක් තමා මේ සැලෝන් වහලා තියෙන එක. ඒ වෙනුවෙන් හරි අපූරු ගීයක් නිර්මාණය වෙලා තියෙනවා.

ඒ තමයි

යසට හිටපු අපේ නෝනලා….

මේ ගීතය ලියන්නේ නම් රජිව් සෙබස්තියන්, ගායනයෙන් රජිව් එක්ක එක් වෙනවා ඩෙස්මන් සිල්වා, කොරින් අල්මේදා සහ මරියසෙල් ගුණතිලක.

කොහොමද මේ ගීය නිර්මාණය වෙන්නේ

මේක නිර්මාණය වෙන්නේ ඩෙස්මන් එවපු වීඩියෝ ක්ලිප් එකක් හරහා.

මොකක් ද ඒ වීඩියෝ ක්ලිප් එක

ඒක හරියටම තත්පර 59ක පොඩි ක්ලිප් එකක්. හරි ලස්සනට ලතින් ඇමරිකානු තනුවකට කන්‍යා සොයුරියන් තමන්ගේ ඒ නිවාසයක ඉන්න ළමයි එක්ක රංගනයක යෙදෙන එකක් ඇතුළත් වීඩියෝ එකක්.

කොහොමද වීඩියෝ එක ගීයක් වුණේ

ඕක අහපු ගමන් හරි කැචි නිසා මම නොර්ට් එකක් දැම්මා මේකේ සිංහල වර්ෂන් එකක් කරමුද කියලා. ඒ පාර ඩෙස්මන් මට එවලා තිබ්බේ Great minds think a like කියලා. (විශිෂ්ඨ මනසවල් හිතන්නේ එකම විදියට කියලා.) එයත් ඒකම තමා හිතලා තියෙන්නේ.

ඊට පස්සේ පද ලිව්වා

ඔව්. මොකද මේ කාලෙත් එක්ක නිතර අහන්න දකින්න ලැබෙන්නේ ආසාදිතයන් මෙච්චරයි, නිරෝධායනයට යැව්වා වගේ දේවල්ම නිසා ඕනෑවට වඩා සීරියස් යන්නේ නැතුව මිනිස් මනසට යම් රසවින්දනයක් එක්ක දෙයක් කරමු කියලා තමා මේ විදියට මේ ලතින් අමරිකානු තනුවට මගේ අතින් මේ පද පෙළ ලියැවුණේ.

මරියසෙල් සහ කොරීන් සම්බන්ධ වුණේ කොහොමද?

මේකේ මම වර්සස් දෙකක් කාන්තාවන්ටයි අනිත් කොටස් දෙක පිරිමින්ටයි විදියට ලිව්වේ කියලා. මොකද කාන්තා පාර්ශවයටත් කියන්න දෙයක් තියෙනවනේ. මම ඉතින් ඩෙස්මන් ට කිව්වම එයත් ඒකට කැමති වුණා. අපිම තනියම කරනවට වඩා ඒක හොඳයි කියලා.  මම කිව්වා මරියසෙල් සහ කොරීන් හිටියනම් මරු කියලා. ඩෙස්මන් ම ඒ දෙන්නටත් මේ ගැන කියලා තිබ්බා. ඔන්න ඔහොම තමා අපි හතරදෙනා එකතු වුණේ.

කොහොමද කොරෝනා කාලේ පටිගත කළේ

මගේ කොටස පමණයි ස්ටුඩියෝ එකක පටිගත කළේ.. අනිත් තුන්දෙනාම ෆෝන් රේකොඩින් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඩෙස්මන්, බොරලැස්ගමුවේ ඉඳන් කොරින් සහ තලංගම ඉඳන් මරියසෙල් එව්වේ. අපි මේ තත්ත්වය පාලනය වුණාම අපි හතර දෙනා එකතුවෙලා නැවත ස්ටුඩියෝ එකක පටිගත කරනවා කියන තැන තමා ඉන්නේ. කොහොමත් ඩෙස්මන් ඉන්නේ රට නිසා එයා ලංකාවට එන්නත් ඕනෙනේ.

කලිනුත් පාස්කු එකෙන් පස්සේ නානා කියලා ගීතයක් කළානේ, කොහොමද ඒකට ලැබුණු ප්‍රතිචාර

හොඳ ප්‍රතිචාරයක් ලැබුණා ඒ ගීතයට. මිලියන් ගණන් විව්ස් නැහැ. මොකද මගේ ඒවායේ අඩ නිරුවත් ගැණු ළමයි නැහැනේ. අපි අපේ නිර්මාණ හරහා යම් කිසි පණිවිඩයක් දෙන්න තමා උත්සහ කරන්නේ. ඒ නිසා ලැබුණු ප්‍රතිචාර ගැන සතුටුයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


– අනුෂා රණසිංහ

Exit mobile version