රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් අයි.පී.එල්. දෙවනත් කරන සරුවත් විකිණූ වීදි කොල්ලා

සදෙව් රත්නායක –

“ඔබ මගෙන් විමසන්නේ ක්‍රීඩාවේ මුහුණ පෑමට සිදුවන මානසික පීඩනය ගැන නම්  මට කියන්නට ඇත්තේ මම අවුරුදු 3ක් ඒ මානසික පීඩනයට මුහුණ දී පුරුදු බවයි.  මට ලකුණු රැස් කිරීම හෝ කඩුලු ලැබීම පිළිබඳ කිසිම ගැටලුවක් නෑ, ඒ දෙකම මට කරන්න පුළුවන් කියා මා දැන සිටියා. ඒත් ඒ කාලයේ මට තිබුණු එකම ප්‍රශ්නය වුණේ ඊළඟ කෑම වේල ලැබේවිද නැද්ද කියන එක විතරමයි.“ – යෂාස්වි ජොස්වාල්ට

ඊළඟ කෑමවේල ලැබේවිද නැද්ද…? නිරාහාරව තවත් රැයක් පහන් කරන්න වේවිද නැද්ද?

කාලයක් යෂාස්වි ජොස්වාල්ට තිබුණු එකම ප්‍රශ්නය වූයේ එයයි.  මීට අවුරුදු 3කට පෙර මුම්බායේ වීදි පුරා පළතුරු හා සරුවත් අලෙවි කළ 19 හැවිරිදි වියේ පසුවන මේ විශිෂ්ට යොවුන් ක්‍රීඩකයා  වර්තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන පිතිකරුවෙකි. මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් පිල ඔහු මිළට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකහමාරකටය.


අවුරුදු  3ක් මුම්බායේ පදික වෙළෙඳාම් කරමින් කුසගින්න නිවා ගත් මේ තරුණ ක්‍රීඩකයා ඉතිරි කාලය වෙන් කළේ ක්‍රිකට් පුහුණුවීම්වල නිරතවීමටය. නිදි වර්ජිත, නිරාහාර රාත්‍රීන් ගණනාවක් ඔහු ගත කළේ නිවෙසක නොව මුම්බායේ එක්තරා පළාතක ක්‍රීඩාංගණයක් අසළ ඉදිකොට තිබූ කූඩාරමකය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අන්ත දිළිඳු පවුලක උපන් යෂාස්විට ක්‍රිකට් උණ වැළදුණේ කුඩා වියේ සිටමය. නමුත් ඔහුගේ පියාට පුත්‍රයාගේ සිහිනය සැබෑ කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොතිබිණි. එසේ වුවත් ඉගෙනීමට වඩා ක්‍රීඩාවට ආදරය කළ යෂාස්වි උදේ රෑ දිවා හඬා වැටෙමින් කළ ඉල්ලීම නිසා අවසානයේදී මුම්බායේ පදිංචිව සිටි ඔහුගේ ඥාතියකු වෙත පුත්‍රයා යැවීමට පියා තීරණය කළේය.

මුම්බායේ පදිංචිව සිටි යෂාස්විගේ ‘මාමා‘ට ද එතරම් වත්කමක් නොතිබිණි. ඔවුන් ජිවත්වූ කුඩා නිවෙසේ තවත් කෙනකුට ඉඩක් තිබුණේද නැත. එබැවින් මාමා කළේ ඔහු දන්නා හඳුනන ව්‍යාපාරිකයකුගේ කිරි ගොවිපලක යෂාස්විට රැකියාවක් සමග නවාතැනක් සොයා දීමය.

ඇත්තටම යෂාස්විට තිබුණේ රැකියාවක් කිරීමේ සිහිනයක් නොව ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය පමණි. ඔහු රැකියාව පසෙක ලා ඒ අවට කොලු කුරුට්ටන් සමග දිනය පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුයේ එබැවිනි. රැකියාවට පැමිණි මුරණ්ඩු කොලු ගැටයා ක්‍රිකට් ගසනු දුටු ගොවිපලේ හිමිකරුවාට අසූහාරදාහට කේන්ති ගියේය. රැකියාව අතපසු කරමින් ක්‍රිකට් ගසන මේ කොලුගැටයාට බැණ වැදුණු හෙතෙම නවාතැනින්ද දොට්ට දැමුවේය.

ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා මාමාට ද යෂාස්වි දැඩි හිසරදයක් බවට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නැත. අවසානයේ මාමා ඔහු දන්නා කම්කරුවන් පිරිසක් ලැගුම්ගෙන සිටි කූඩාරමක ඔහුට නවාතැන් සොයා දුන්නේ ‘ඕන විදිහට ජීවත් වෙන්නැයි‘ කියමිනි. කූඩාරමේ සිටියේ අවට ක්‍රීඩාංගණයක කම්කරු සේවයේ යෙදී සිටි පුද්ගලයන් පිරිසකි. ඔවුහු කුඩා යෂාස්විට බෙහෙවින් කරුණාවන්ත වූ අතර, පිසිනු ලබන ආහාරවලින් ද සංග්‍රහ කළහ. ඒ අතරතුර අවට පිහිටි එක්තරා ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමටත් ඔහුට අවස්ථාව ලැබණි.

වීදි කරුවෙක්ව සිටි අවධියෙ ආවර්ජනයක්…

කුඩා යෂාස්වි වසර තුනක් එසේ කූඩාරමක ජීවත් වූ අතර, ඒ කාලය තුළ විදුලිය නොමැති කූඩාරමේ නිදි වර්ජිතව හා නිරාහාරව රැය පහන් කිරීමට සිදුවූ වාර ගණන අනන්ත විය. එහෙත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේදී සියල්ල අමතක කොට උනන්දුවෙන් ක්‍රීඩා කළේය. සිය ඉරණම ගැන වද වූවත් ඒවා මාපියන්ට ලියා යැවීමට ඔහු බිය වුයේ ක්‍රිකට් සිහිනයට නැවතීමේ තිත තැබීමට සිදුවනු ඇතැයි කියාය.

වසර තුනක් කූඩාරමේ ගත කළ කාලයේ යෂාස්වි ක්‍රීකට් ක්‍රීඩාවෙන් සෑහෙන ප්‍රගතියක් පෙන්නුම් කරන්නට වූ අතර, දිවා කාලයේ මුදල් ඉපැයීමට මුම්බායේ පදික වේදිකාවේ පළතුරු වික්කේය. සරුවත් වික්කේය. නමුත් කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් මුදලක් නොලැබූ දිනවල හවස පුහුණුවීම්වලට ගිය විට තම මිතුරන්ගෙන් ආහාර ඉල්ලා ගැනීමට ඔහුට සිදුවිය.

සියළු බාධක මැද යෂාස්වි සිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් තරගවලට සහභාගි වූ අතර එක්තරා අවස්ථාවක ඔහු පන්දු යවන්නන්ට මුහුණ දෙන අයුරු නිරීක්ෂණය කළ වේලා සිං නමැති පුහුණුකරුවකු යෂාස්විගේ දස්කම් හඳුනා ගත්තේය. මේ සිටින්නේ ඉන්දීය පිලේ අනාගත තරුවක් බව ඔහුට අවබෝධ විය. යෂාස්විට අනතුරුව මුම්බායි ප්‍රාන්ත පිලේ දොරටු විවර වන්නේ එම පුහුණුකරුගේ මැදිහත්විම මතය.

අනතුරුව මුම්බායි අවුරුදු 16න් පහළ කණ්ඩායම නියෝජනය කළ යෂාස්වි එක් තරගයක නොදැවී ලකුණු 319ක් රැස් කිරිමට සමත්වූයේ එම දස්කම පෑ ළාබාලතම පිතිකරුවා ලෙසය. එවිට ඔහුගේ වයස අවුරුදු 14ක් විය. අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට ඉන්දීය පිල නියෝජනය කිරිමේ වාසනාව යෂාස්වි පසුපස හඹා ආවේ ඉන් පසුවය. ලෝක කුසලාන තරගාවලියේ  අවසන් පූර්ව තරගයේදී ඔහු පාකිස්තානයට එරෙහිව ශතකයක් රැස් කරමින් ජාත්‍යන්තර අවධානයත් දිනා ගත්තේය.

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී තරගාවලියේ වීරයා සම්මානය සහිතව..

ඔහුට දැන් මුම්බායේ වීදි පුරා පළතුරු විකුණන්නට අවශ්‍ය නැත. යෂාස්වි යනු අනාගත ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටින යොවුන් ක්‍රීඩකයෙකි.

‘ඔබ මගෙන් විමසන්නේ ක්‍රීඩාවේ මුහුණ පෑමට සිදුවන මානසික පීඩනය ගැන නම්  මට කියන්නට ඇත්තේ මම අවුරුදු 3ක් ඒ මානසික පීඩනයට මුහුණ දී පුරුදු බවයි. මට ලකුණු රැස් කිරීම හෝ කඩුලු ලැබීම පිළිබඳ කිසිම ගැටලුවක් නෑ, ඒ දෙකම මට කරන්න පුළුවන් කියා මා දැන සිටියා. ඒත් ඒ කාලයේ මට තිබුණු එකම ප්‍රශ්නය වුණේ ඊළඟ කෑම වේල ලැබේවිද නැද්ද කියන එක විතරමයි.‘

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යෂාස්වි දැන් එසේ කියන්නේ සිනහමුසු මුහුණින් යුතුවය.

 

Exit mobile version