රම්පේ කොලයේ අප නොදත් විස්මය..එය  රසකාරකයකට එහා ගිය විශිෂ්ට ආහාරයක්…

  ගැමුණු සාලිය –

රම්පේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pandan යනුවෙන්. (Pandanus  amaryllifolius) රම්පේ තායිලන්තය මැලේසියාව ඇතුලු අග්නිදිග ආසියාතික රටවල්වල මෙන්ම ලංකාවේද ජනප්‍රිය කුළුබඩු වර්ගයක්. ආහාර සඳහා ලබා දෙන අද්විතීය සුවඳ සහ රසය නිසාවෙන් රම්පේවලට බොහෝ දෙනෙකු කැමතියි.

මෙම සුවඳට හේතුවන ඖෂධීය ගුණ සහිත පිපෙරිඩීන් ඇල්කලෝයිඩ් වර්ග තුනක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. (piperidine alkaloids) අග්නිදිග ආසියාතික රටවල්වල ආහාර සුවඳවත් කිරීමට එහා ගිය අරමුණු රාශියකට රම්පේ භාවිත කළද ශ්‍රී ලංකාව තුළ රම්පේ ජනප්‍රිය වෙලා තියෙන්නේ ආහාර රසකාරකයක් විදියට පමණයි.

Rampa

රම්පේවල ගුණ –

එහෙත් මෙම ශාකයේ  ආහාරමය සහ ඖෂධීය ගුණ පිලිබඳ ශතවර්ෂ ගණනාවක් තිස්සේ විශේෂයෙන් අග්නිදිග ආසියානු රටවල්වල සඳහන් කෙරී ඇති අතර, නවීන විද්‍යාව එහි ප්‍රතිලාභ පිළිබඳව වඩාත් පුළුල් ලෙස පර්යේෂණ කිරීමට පටන් ගෙන ඇත්තේ මෑතකදීයි.

රම්පේ පිළිබඳ සිදුකර තිබෙන මූලික පර්යේෂණ මගින් එහි සෞඛ්‍යයට  සහායවන වැදගත් විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. රම්පේ කොල ග්රෑම් 100ක දෛනික යකඩ අවශ්යතාවයෙන් 32%ක්, කැල්සියම් 10%ක්, පොස්පරස් 9%ක් අඩංගුවන අතර, ඒ විටමින් (බීටා කැරොටින්) 43%- 80% ක් අතර ප්රමාණයක් සහ ප්රෝටීන ග්රූමි 2 ක්ද, තවත් ක්ෂුද්‍ර පෝෂක බොහෝ ප්‍රමාණයක් ද අඩංගු වෙයි. ඒ අනුව රම්පේ කොළ ආහාර සුවඳවත් කිරීමට පමණක් නොව කෙලින්ම කෑමට ගත හැකි ආහාරයක් බව පෙනී යනවා.


රම්පේ සාරය පිලිබද සිදු කර තිබෙන මූලික ගුණාත්මක රසායනික අධ්‍යනවලින් පෙන්නුම් කර  ඇත්තේ මෙහි ඖෂධීය ගුණවලට හේතුවිය හැකි ශාක රසායනික ද්‍රව්‍යයන් බොහෝ ප්‍රමාණයක් තිබෙන බවයි. මෙම රසායනික ද්‍රව්‍ය, ආතරයිටිස් , දියවැඩියාව, හෘද රෝග ,ප්‍රජනන සරුභාවය , ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවනාශක ගුණවලට හේතුවිය හැකි බවට ඇතැම් පර්යේෂණ මගින් යෝජනා කර තිබෙනවා. (මානව පර්යේෂණ තවදුරටත් අශ්‍යව ඇත.)

රම්පේ කෑමට ගන්නා විධි

මැලේසියාව තායිලන්තය වැනි රටවල්වල ආහාර සුවඳවත් කිරීමට අමතරව රම්පේ විවිධ ක්‍රමවලට ආහාරය සඳහා සකස් කර ගනු ලබන බව පෙනී යනවා. එම රටවල්වල රම්පෙ කොල තේ  සහ යුෂයෙන් සැකසූ විවිධ පාන වර්ග ජනප්‍රියව පවතිනවා. කොළ යුෂයෙන් සහ වියලා අඹරාගත් කුඩුවලින් ආහාර බොහෝ ප්‍රමාණයක් සකස් කර ගන්නවා.

අපේ රටේ කෙසෙල් කොලේ ආහාර දවටන ආකාරයට රම්පේ කොලවල ඔතල කෑම හදනවා. රම්පේ යුෂයෙන් සහ කුඩුවලින් පැණි, කිරිබත්, කේක්, පෑන් කේක්, පුඩින්, ජෙලි, අයිස්ක්රීම්, බිස්කටි, කුකීස්, නූඩිලස් වගේ කෑම ජාති විශාල ප්රමාණයක් සකස් කරනවා.

තවද, රම්පේ  නිස්සාරණයෙන් සාදනු ලබන තෙල් ආතරයිටිස් රෝග ලක්ෂණ සහ හිසරදය සමනය කිරීමට හේතු විය හැකි ෆයිටොකෙමිකල් වලින් පොහොසත් බවත් පෙනී ගොස් තිබෙනවා. ආහාර තෙල්වල බැදීමේදී එයට රමිපේ කොළ එක් කිරීම නිසාවෙන් ඒවා මුඩු නොවී කල් තබා ගැනීමට ඉවහල්වන බව තවත් පර්යේෂණයකින් සනාථ වී තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රම්පේ විශිෂ්ට තාප ස්ථායී ප්‍රතිඔක්සිකාරක ගුණයක් පෙන්නුම් කරන බැවින් ආහාර කර්මාන්තයේදී ආහාර කල් තබා ගැනීමට භාවිත කළ හැකි වෙයි.

 

Exit mobile version