යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

යූරි ගගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට අද දිනට අවුරුදු 60ක් පිරුණේය. ඒ මතක සහිත සැමරුම් අවකාශයක් දැන් සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේ ජනතාවට විවරව ඇත්තේය.

දශක හයකට පෙර අදවන් දිනක සිය අභ්‍යාවකාශ සැරිය නිමවා රුසියාවට ගිය  යුරී ගගාරින් ඉන් මාස 08කට පසු ලංකාවටත් පැමිණියේය.  ගගාරින්  වීරයාට මේ රටට පැමිණෙන සේ ආරාධනා කරනු ලැබුවේ එවකට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියය.

ඔහු ලංකාවට එන කාලයේ දී චන්ද්‍රිකා මෙන්ම සුනේත්‍රා ද යෞවනියන්ය.  ලෝකය පිළිගත් මේ මහා වීරයා පිළිගන්නට සිරිමාවෝ මැතිණිය රට වෙනුවෙන් ඉදිරිපත් කළේ සිය දියණිවරුන් නොව ඔවුන්ගේ වයසම පසුකරමින් සිටි 14 හැවිරිදි ගැමි කෙල්ලකි. නමින් වීරමලගේ  මැගිලින් නෝනාය.


හොරණ රබර්ගස් මණ්ඩියක හැදී වැඩුණු මේ දුගී තරුණිය ලංකාවට පැමිණි විශ්ව වීරයා පිළිගන්නට තෝරා ගත්තේ එක් හේතුවක් නිසාය. ඇය අවුරුදු  14 දී  ජීවිත 12ක් බේරාගෙන  වීර මාතා සම්මානයෙන් පිදුම් ලැබ තිබුණාය.  ඇය වීර මාතා පදක්කමින් පිදුම් ලැබ සිටියාය. ඇය ගැන ලේක් හවුසියේ ජනතා පත්තරේ පළවී තිබුණේ වීර මැගිලින් කියාය.  එවකට රාජ්‍ය නායිකාව මැගිලින් නෝනා තරුණිය යුරි ගගාරින් පිළිගන්නට ඉදිරිපත් කරන්නේ ඇගේ වීරත්වයට අමතක නොවන වටිනාකමක් ලබා දීම සඳහාය.

මැගිලින් විසින් ගගාරින්ව රත්මලාන ගුවන් තොටුපලේ දී පිළිගන්නා ආකාරය

“වීරයෙක් පිළිගන්නට අප ඉදිරිපත් කරන්නෙ වීරවරියක්.“  මැතිණිය සිය කැබිනට් මණ්ඩලයට   කියා තිබිණි.

වීරමලගේ මැගිලින් නෝනා අම්මා දැන් සැඳෑ සමය ගෙවන මිත්තනියකි. දශක ගණනාවකට පසුත් වියැකී නැති ගැමි පරිසරයේ රූස්ස රබර්ගස් මණ්ඩි අතර තවමත් ඇය නිස්කාංසුවේ දිවි ගෙවමිනි.

ජීවිත 12ක් බේරාගෙන වීර මාතා සම්මානයෙන් පිදුම් ලද එවකට 14 වැනි පිසුවූ  මැගිලින් අම්මා   ඒ පැහැසර අතීත පවත අප සමග කියමින් සිටියාය.

“ ඔය සිද්ධිය වෙන්නෙ මයෙ පුතේ 1961 අවුරුද්දේ ජූලි 07. මට අවුරුදු 14යි. දැන් මෙහෙ උන්නට මගෙ ගම දියගම තෝරමුල්ල. හෝමගමට තමයි අයිති. ඒ දවස්වල මේවා මහා රබර් වතු.  ගෙවල් නෑ ලඟින් ලඟින්… අපි ඉතින් ඉස්කොලෙ යන්නෙ මේ පොඩි පොඩි පාරවල් දිගේ වතු මැදින් රංචු ගැහිලා.“

“දියගම ඔය හින්දා ගම දෙකට බෙදිලා තිබුණෙ. ඉස්කෝලෙ තිබුණෙ පන්සල තිබුණෙ ඔයෙන් එගොඩ.  අපි එගොඩ මෙගොඩ ගියේ ඔය හරහා දාලා තිබුණු පොල් කොටන් දෙකක් තියන ඒදණ්ඩකින්.“

“ඒ දවස්වල හොඳටම වැස්ස. ඔයේ වතුර හොඳටම පිරිලා. අපි ළමයි කට්ටිය  ඔන්න ඔයෙන් එගොඩ වෙන්න ඒ දණ්ඩට නැග්ගා. අපි දොළොස් දෙනයි. වෙනදා විදිහටම පෝලිමට ඒදණ්ඩෙ නැගලා එනවා.  මගෙ දෙයියනේ ඉතින් මොකද උනේ… ඔය මැද්දට එද්දි  එකපාරටම ඒදණ්ඩ කැඩිලා අපි දොළොස් දෙනාම ඔයට වැටුණා.“

“මට පීනන්න පුළුවන්. වැටෙනවත් එක්කම මම පීනලා ඉවුරට ඇවිත් රබර් මුලක් අල්ලගෙන බලනකොට මට පේනවා අනේ අපේ කට්ටිය වතුරෙ ගිලි ගිලී උඩට එනවා. මම ඔය මැදට පීනලා දෙන්නා දෙන්නා අරන් කොණ්ඩවලින් ඇදගෙන ඉවුරට ගෙනාවා. හය දෙනෙක් ගේනකොට ඒ දණ්ඩෙ ඉතිරි කෑල්ල කැඩිලා මගෙ කකුළට වැටුණා. “

“දැන් මට හෙල්ලෙන්න බෑ. මම කළේ අනික් අයටත් කියලා පුලුවන් තරම් හයියෙන් කෑ ගහන්න ගත්තා. අහල පහළක ගෙයක් නැති උනාට මගෙ කෑ ගැහිල්ල ඇහිලා ඈතින් යන්න ආපු දෙන්නෙක් දුවගෙන ආවා. ඇවිත් අපිව ගොඩට ගත්තා. ඒ අතරෙ සැඩ පහරට ගහගෙන ගිය අනික් අයත් වාසනාවට වගේ ඉවුරුවලට කිට්ටු වෙලා රබර් මුල් අල්ලගෙන හිටියෙ. කාටවත් කරදරයක් විපතක් උනේ නෑ.“

විරාමයක දී විමසුවෙමි.  “ අම්මට මේ සිද්ධියත් එක්ක ගමේ ඇත්තන්ගෙන් හොඳ පිළිගැන්මක් තිබුණ ද?. ඒ අය මොනවද කිව්වෙ.“

“ අනේ පුතේ… අපේ ගම්වල ඇත්තන්ට මේවා ඉතින් එහෙමටම අරුමත් නෙමෙයි. ඒත් ගමේ මැනේජර් මහත්තයා මුල් වෙලා මේ සිද්ධිය ජනතා පත්තරේට යොමු කළා. ඊට පස්සේ ඉතින් ඔන්න ගමේ අයත් කතා වෙන්න ගත්තා.   මේ සිද්ධිය වාර්තා උනාම ඒ ගැන රටේ අවධානය යොමු වුණා. 1961 අවුරුද්දෙ වීර පදක්කම හම්බඋනේ  ඒකෙ ප්‍රතිඵලයක් විදිහට.“

ඒ වීර පදක්කම ඇය ලබා ගන්නේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අතිනි. ඒ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ උත්සවයක දීය. ගමට එවූ බස් එකක උත්සවයට ගොස්  සම්මානත් ලබා කොළඹත් දැක බලාගෙන නිවසට පැමිණි මැගිලින් අම්මා  පුරුදු පරිදිම ඒදණ්ඩෙන් එගොඩ වී ඉස්කෝලේත් ගියාය.

සිරිමාවෝ මැතිනිය අතින් වීර පදක්කම ලබා ගනිමින්

ඒ අවුරුද්දේ දෙසැම්බර් 07 වැනිදා අභ්‍යාවකාශය දිනූ ලොව පළමු මිනිසා, රුසියානු ජාතික යූරි ගගාරින්, ශ්‍රී ලංකා අගමැතිනියගේ ආරාධනාව පිට ලංකාවට ආවේය.

ගගාරින් පිළිගන්නට සුදුස්සෙක් ගැන කතා කරන විට   යෝජනා වී තිබුණේ මැගිලින්ය.   වීර ගගාරින් පිළිගන්නට අපේ වීර යෞවනිය වූ මැගිලින් තෝරා ගැනීම යහපත් බව අගමැති තුමියත් පිළිගත්තාය. කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ඇයට   ලැබී තිබිණි.

“ ගගාරින් මැතිතුමා පිළිගන්න උත්සවයට සහභාගී වෙන්න ඔන්න ආයෙත් අපේ ගමට වාහනයක් එව්වා.  වාහනේ අම්මයි තාත්තායි මමයි තුන් දෙනාම ගියා.“

“ගගාරින් මැතිතුමා පිළිගන්න කටයුත්ත ලෑස්තිවෙලා තිබුණෙ  රත්මලාන ගුවන්තොටුපලේ.  මම එතෙන්ට ගිහින් ගුවන් යානයෙන් බැහැලා එන එතුමයි, එතුමගෙ මැතිනියයි පිළිගත්තා. බොහොම ප්‍රතාපවත් උස රතු මනුස්සයෙක් එතුමා.“

“එතුමා පිළිගත්තට පස්සේ  එතුමයි මැතිනියයි එක වාහනය නැගලා රජ ගෙදරට ගියා. මම තව වාහනයක නැගලා රජගෙදරට ආවා. මටම පුදුමයි. මම වාහනේ නැගලා එනකොට  පාර දෙපැත්තෙ කට්ටිය ගගාරින් මැති තුමා ගැන වගේම මගෙ ගැනත් අවධානයෙන් හිටියෙ. ඒ ඇත්තො කෑ ගහන්න ගත්තා අන්න වීර මැගිලින් යනවා“ කියලා.

මැගිලින් විසින් ගගාරින් පිළිගත් ආකාරය පුවත්පත්වල වාර්තා වී තිබිණි…

ගගාරින් පිළිගෙන ගමට පැමිණි ඇයව අගමැතිනිය අමතක කළේ නැත. මැගිලින්ට අවශ්‍ය දේ ඇය විමසා සිටියාය.

“ මේ ගැන අහනකොට තාත්තා කිව්වෙ දරුවට ඉගෙන ගන්න හොඳ ඉස්කෝලයක් දෙන්න කියලා. මට හම්බඋනා පිලියන්දල සෙන්ට්‍රල් එක. එතකොට අධ්‍යාපන ඇමති බදියුදීන් මොහොමඩ්. තාත්ත එතුම හම්බවෙලා ඉල්ලීමක් කළා කොළඹ ඉස්කෝලයක් දුවට දෙන්න කියලා.   අධ්‍යාපන ඇමති තුමා මට කොළඹ විශාඛා විද්‍යාලය හදලා දුන්නා. නේවාසිකාගරයෙ නවතින්න අවස්ථාවත් හදලා දුන්නා. සාමාන්‍යපෙළ දක්වා මම විශාඛා විද්‍යාලයෙ ඉගන ගත්තා.“

මැගිලින් අම්මාගෙ තාත්තා ජීවිතය හැර යන්නේ මේ අතරය. අම්මාට පවුලේ වගකීම තනිව දරා ගන්නට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ මැගිලින් අම්මා   විශාඛාවෙන් ඉවත් වී ගෙදර පැමිණ මැලිබන් කොම්පැණියේ වැඩට ගියාය.

“ අවුරුදු  25ක් වැඩ කළා. නංගිලා දෙන්න බන්දලා දුන්නා. ඊට පස්සෙ මම විවාහ උනා.“

මැගිලින් අම්මලා ඒදණ්ඩෙන් එගොඩ වූ තැන අද තරමක පාලමකි. පාලම වීර මැගිලින් නමින් නම් කර තිබේ. මැගිලින් අම්මා මේ වනවිට සිය මුණුබුරු මිණිබිරියන් සමග සොඳුරු   ජීවිතයක් ගෙවමින් හිඳී.

වීර මැගිලින් අයිති අතීතයටය.    මැගිලින් අම්මා මේ කියන්නේ  වීරයින් නිර්මාණය වන්නේ විසාල හිත් ඇති මිනිසුන් අතර බවය.

ඇයගෙන් සමුගෙන මගට පිවිසියෙමි.  කහ පැහැ ගැණුනු රබර් කොළ හමා එන සුළඟින් එක සීරුවට බිම පතිත වෙමින් තිබිණි.  ඉන් අනතුරුව පෙනුනේ රබර් ගස්වල කනාටු වූ නිරුවත් අතු පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


–  රසඳුන 2021 කාන්තා දින අතිරේකයේ පල කර තිබී උපුටාගෙන සංස්කරණය කරන ලදී

Exit mobile version