මයිකල් ජැක්සන් තවමත් ජීවතුන් අතර ද?. 11 වසරකට පසු ලෝකය සැක කරයි.

මයිකල් ජැක්සන්

සදෙව් රත්නායක

බටහිර පොප් සංගීතයේ කිරුළ පළන් රජු ලෙස විරුදාවලිය ලැබූ මයිකල් ජැක්සන් මෙලොව හැර ගොස් වසර 11ක් පිරුණු පසුගියදා මේ සුප්‍රකට ගායකයාගේ මරණය සිදුවූ ආකාරය ගැන යළි යළිත් ජනතාව අතර කතාබහට ලක්විය. 2009 වසරේ ජුනි මාසයේ 25 වැනිදා අවසන් සුසුම් පොද වාතලයට මුසු වෙද්දී පනස් වැනි වියේ පසුවූ මයිකල් ජැක්සන් හෙවත් එම්.ජේ. ඒ වනවිට තරමක අසනීප තත්ත්වයෙන් පසුවූවත් ජීවිතක්ෂයට පත්වීමට තරම් එය බරපතළ එකක් නොවූ බව ද පැවැසේ.

එසේ නම්, එම්.ජේ. මරණය නොවිසඳුණු අභිරහසක් ද..?

අභිරහස් අන්දමින් ජීවිතයෙන් සමුගත් ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ මරණ  ‘කුමන්ත්‍රණ න්‍යාය‘ ලැයිස්තුවට ඇතුළත් වන අතර එම්.ජේ.ගේ මරණයත් ඊට ඇතුළත්ය. කුමන්ත්‍රණ න්‍යාය (conspiracy theories) සම්බන්ධව ලොව පුරා ඇත ඉතිහාසයේ සිට ආන්දෝලනයකට තුඩු දෙන කරුණු ඉතා ශක්තිමත්ය. ඒවා සැහැල්ලු සිතින් යුතුව බැහැර කිරීමට නොහැකි තරම් පදනමක් සහිත වූ එකකි. එම්.ජේ.ගේ මරණය අරභයා වසරින් වසර අලුත්වන කුමන්ත්‍රණ න්‍යාය ඊයේ පෙරේදා නැවතත් කරළියට පැමිණියේ ඔහුගේ 11 වැනි අනුස්මරණයත් සමගිනි.


එම්.ජේ.ගේ මරණය ඖෂධ අධිමාත්‍රාවක් භාවිත කිරීම හේතුවෙන් සිදුවූ බව මරණයට හේතු වශයෙන් මුලින්ම සඳහන් වූවත් පසුව ඔහුගේ හිටපු පෞද්ගලික වෛද්‍යවරයා වූ කොන්රඩ් මරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ කුමන්ත්‍රණකාරී ලෙස එම්.ජේ.ඝාතනය කළ බවට චෝදනා කරමිනි. අවසානයේ වසර 2ක් බන්ධනාගාර ගතවීමට මරේට සිදුවිය. එහෙත් එය එම්.ජේ.ගේ මරණයට සැබෑ හේතුව දැයි තර්ක විතර්ක ගොඩ නගමින් කුමන්ත්‍රණ න්‍යාය යළි යළිත් ඉස්මතු වෙමින් පවතී.

හදිසි හෘදයාබාධයකින් මරණයට පත්වූවා යැයි මුලින් කී එම්.ජේ.ගේ මරණය පසුව පෞද්ගලික වෛද්‍යවරයා ක්‍රම ක්‍රමයෙන් ඔහුට වස දී මරණයට පත්වන්නට ඉඩ හැරිය බවට ගොඩනැගුණු මතවාදය දැන් කුමන්ත්‍රණ න්‍යායට අනුව මුසාවක් බවටත් පත්වෙමින් තිබේ.

ඒ  අතර වඩාත්ම ඉස්මතුවූ කරුණ වන්නේ මයිකල් ජැක්සන් සැබැවින්ම මිය ගියේ ද යන්නයි. කෙසේ වුවත් ඔහුගේ මරණ පරික්ෂණයෙන් එම  මළ සිරුර එම්.ජේ.ගේ බවට තහවුරු කර තිබුණත් ඒ පිළිබ‍ඳ මතුවූ අලුත්ම තර්කය වන්නේ එම්.ජේ. තවමත් ජීවමානව සිටින බවය. එවැනි තර්කයක් ගොඩනැගීමට ආසන්නතම හේතුව වන්නේ එම්.ජේ. මරණයට පත්වූ බව නිවේදනය වී පැය කිහිපයක් ගතවෙද්දී ඔහු කැලිෆෝනියාවේ සිට මෙක්සිකෝ දේශසීමාව තරණය කළ බව තමා දුටුවේ යැයි එක්තරා අමෙරිකානු දේශසීමා පරික්ෂක නිලධාරියකු විසින් කරනු ලැබූ ප්‍රකාශයයි. නමුත් ගැටලුව වූයේ ඔහු හැර වෙනත් කිසිවකු එවැන්නක් දැක නොතිබීම ය. 

එම්.ජේ.ගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ට අනුව නම් ඔහු තවමත් ජීවතුන් අතරය. ලොව කොතැනක හෝ ඔහු ජීවත්වෙමින් සිටින බවට ද මත පළවී තිබේ. එහෙත් එවැනි මත කුමන්ත්‍රණ න්‍යායට අනුව තවමත් තහවුරු වී නොමැත.

එම්.ජේ. තවමත් ජීවත් වෙමින් සිටින බව ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම එකම දියණිය පැරිස් ජැක්සන් ද එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. ඔහු මරණයට පත්වූ බව පිළිගනු ලැබුවත් ඔවුන්ගේ අදහස වන්නේ එය ස්වභාවික මරණයක් නොවන බවය. මේ පිළිබඳ පළමුවරට ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේ දියණිය පැරිස් ජැක්සන් විසිනි. ඇය කියා සිටියේ සිය පියාගේ මරණය ඝාතනයක් බවය. ඔහු හදිසි හෘදයාබාධයකින් මිය ගිය බව සඳහන් වූවද එය සැලසුම් සහගතව සිදුවූ එකක් බව ඇය කීවාය. කෙසේ වෙතත් මරණය සම්බන්ධව එම්.ජේ.ගේ පෞද්ගලික වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වූයේ දියණියගේ ප්‍රකාශය අරභයා නොවේ. 

පැරිස් ජැක්සන්

මත්පැන් පානය කරමින් ද, දුම්වැටි උරමින් ද නිව්යොක් නුවර වීදි පුරා රස්තියාදු වෙමින් සිටි එම්.ජේ.ගේ දියණියගේ ප්‍රකාශයට එතරම් වැදගත් තැනක් ලැබුණේ නැත. ඇරත් එම්.ජේ.ගේ අවසන් කාලයේ දී ඇයට සිය පියා දැකීමටවත් උනන්දුවක් හෝ කැමැත්තක් නොතිබීම නිසා එවැනි ප්‍රකාශ හුදු ප්‍රලාප බවට පත්වූයේ නිතැතින්මය.

එම්.ජේ.ගේ පෞද්ගලික වෛද්‍යවරයාට සිරගත වීමට සිදුවූයේ එය ඝාතන සිද්ධියක් බවට නිගමනය කරමින් නොව සිය සේවාදායකයා සම්බන්ධව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙනි. එම්.ජේ.ගේ දෛනිකව සිරුරට එන්නත් කරගනු ලබන ඖෂධ මාත්‍රාව පිළිබඳ ඔහුගේ අවධානය යොමු නොවීමත්, ඔහු විසින් සිය සේවාදායකයාට නියම කරනු ලැබූ ඖෂධ ප්‍රමාණය අවදානම් සහිත එකක් වීමත් ඊට හේතු විය.

කුමන්ත්‍රණ න්‍යායට අනුව වඩාත්ම වැදගත් තැනක් ලැබී ඇත්තේ මීට වසර කිහිපයකට පෙර එක්තරා හඳුනාගත නොහැකි වීදියක පදික වේදිකාව මත එම්.ජේ.ගේ රුවට සමාන පුද්ගලයකු ඇවිද යන වීඩියෝ පටයයි. අන්තර්ජාලයේ මිලියන 3කට වැඩි වාර ගණනක් නරඹා තිබූ එම වීඩියෝ පටය ඊට මුදා හැර තිබුණේ ද මයිකල් ජැක්සන් නමින් යුතු පුද්ගලයකු විසිනි. 

අවධානයට ලක්වූ අනික් කරුණ වන්නේ වාර්ෂිකව සමරන පියවරුන්ගේ දිනයේ දී තම පියා සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීමට ජැක්සන් දරුවන් කටයුතු කිරීමය. එමෙන්ම පියාගේ අනුස්මරණය දිනයේදී ද එවැනි ප්‍රකාශ නිකුත් කිරිමට තරම් උනන්දුවක් ඔවුන් අතර නොමැතිවීමය. 

රොක් ඇන්ඩ් රෝල් රජු වශයෙන් සැළකෙන එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා මාරි ප්‍රෙස්ලි සමග විවාහ වී සිටි එම්.ජේ. වසර දෙකකට පසුව ඇයගෙන් දික්කසාද වූ අතර එම වසරේදීම ඩෙබි රෝ සමග අතිනත ගත්තේය. ඔහුගේ එකම දියණිය උපන්නේ දෙවැනි විවාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.කෙසේ වුවත් එම්.ජේ.ට තවත් දරුවන් දෙදෙනකු ද වෙති. දෙදෙනාම පුතුන් ය. වැඩිමල් පුත්‍රයා මයිකල් ජෝශප් ජැක්සන් වන අතර බාලයා ප්‍රින්ස් මයිකල් ජැක්සන් ය. 

වැඩිමල් පුත්‍රයාට දැන් අවුරුදු 23කි. බාලයා 18 හැවිරිදි වියේ පසුවෙයි. එකම දියණිය 22 හැවිරිදි පැරිස් සංගීතයට වඩා රස්තියාදුවට ලොල් වූ තරුණියක වන අතර පියාගේ ගුණ වයමින් වරින් වර අන්තර්ජාලයේ සැරි සරමින් සිටී. සිරුර පුරා පච්චා 50ක් පමණ කොටා ගෙන සිටින ඇය ගෙවා දමමින් සිටින්නේ රාත්‍රී සමාජශාලාවල අයාලේ යන ජීවිතයකි. 

පසුගියදා යෙදී තිබූ එම්.ජේ.ගේ 11 වැනි අනුස්මරණ දිනයේදී එවැනි සටහනක් තැබීමට දියණිය පැරිස් ජැක්සන් කටයුතු කර තිබුණ ද, එය ඉතා කෙටි සටහනකට සීමා විය. ඒ අනුව එම්.ජේ.ගේ දරුවන් මේ වනවිට සිය පියාගේ මතකය සිතින් ඉවත් කර ඇතැයි ද තවත් වාර්තාවකින් කියැවෙයි.ලොවක් වසඟ කළ මේ පොප් ගී තරුව අදටත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසිකයන් අතර යළි යළිත් ජීවමාන වෙද්දී ඔහුගේ දරුවන් සහ පවුලේ සාමාජිකයන් එතරම් සැළකිල්ලක් නොදැක්වීම අරභයා ගොඩනැගුණ න්‍යාය වන්නේ එම්.ජේ. තවමත් ජිවතුන් අතර සිටිය හැකි බවට වන තර්කයයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුමන්ත්‍රණ න්‍යායට අනුව ගොඩ නැගෙන තර්ක විතර්ක දිනෙන් දින අලුත් වෙමින් පවතින අතර ඒ පිළිබඳ විශේෂඥවරුන්ගේ අදහස වී ඇත්තේ එම්.ජේ.ගේ ජීවත්වීම හෝ මිය යාම තීරණය කිරීමට තවත් න්‍යායන් එක් රැස් කරගත යුතුව ඇති බවකි. 

 

Exit mobile version