බාධක මැඩගෙන ජීවිතය දිනූ දියණිය

වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ විශේෂ අවශ්‍යතා සහිත දියණිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙල ප්‍රතිඵල හමුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.

වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ සුවිශේෂී වූ දියණියකි. ඇය උපතින් ම මුවෙහි සහ නාසයේ සංකුලතා සහිතවත් දෑතේ ආබාධ සහිතවත් මෙලොව එළිය දුටු දියණියකි. උපත ලබා මාස තුනක් වූ තැන සිට මේ වන තුරු විවිධ ශල්‍ය කර්ම විසි හතකට මුහුණ දුන් ඇය අවසන්වර ශල්‍ය කර්මයකට මුහුණ දී ඇත්තේ දෙදහස් විස්සේ අගෝස්තු මාසයේදිය. ඒ අපොස උසස් පෙල විභාගය අභිමුවය. විභාගය පැවැතියේ 2020 ඔක්තොම්බර් මාසයේදිය.

එවර විභාගයට ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් ඔස්සේ මුහුණ දුන් ඇය විශිෂ්ඨ සාමාර්ත (ඒ) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථ (බී) එකක් සහිතව උසස් ප්‍රතිඵල ලබා තිබේ.


වත්සලා ඇයගේ ජයග්‍රහණය පිළිබදව මෙසේ කියන්නීය. “ මගේ අම්මා ලුම්බිණි කුමාරි මුතුකුඩේ . ඇයට මගේ රෝගි තත්ත්වයන් නිසා රැකියාවෙන් ඉවත්වෙන්න සිදු වුණා. මගේ පියා අනුර බණ්ඩාර මුතුකුඩේ . ඔහු මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්. සහෝදරයෙක් සහ සහෝදරියක් මට ඉන්නවා. ඒ අයට මට මෙන් කිසිදු රෝගී තත්ත්වයක් නැහැ.

මගේ දකුණු අත උපතින්ම වැලමිට ලගින් පහලට පිහිටා නැහැ. වම් අතේ මහපටැගිල්ල පමණයි තිබෙන්නේ. එයින් වැඩ කර ගැනීම අපහසු නිසා මහනුවර රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය කනකතපිල්ලේ වෛද්‍යවරිය වරින් වර අතේ ශල්‍යකර්ම සිදුකරමින් පහසුව ඇති කලා. විභාගය සදහා සූදානම් වන කාලේ මම පිළිතුරු ලිවීම වැඩියෙන් කල නිසා මහපටැගිලල ලග ගෙඩියක් ආවා. විභාගය ආසන්නයේ එය ඉවත් කිරිමේ ශල්‍ය කර්මයක් කලා. ඉන් පසුව තමයි නැවත පහසුවෙන් ලියන්න හැකි වුණේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මල්කාන්ති අබේගුණසේකර මහත්මිය වත්සලා ගේ ජයග්‍රහණය අගය කරමින් මෙසේ කීවාය. “  ඇය අපේ පාසලට විශාල ගෞරවයක් . ඇය අතිදක්ෂ ලෙස අධ්‍යාපන කටයුතු වල නියැළුණා. විශේෂ අවශ්‍යතා සහිත දියණියක් නිසා ඇයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි මැදිහත් වුණා. අපේ විද්‍යාලයේ සෑම දියණියක්ම ඇය සමග එකට හිටියා. ඇයගේ විශේෂ අවශ්‍යතාව ය පිළිබදව ඇයට වෙනසක් දැක්වූයේ නෑ.සාමාන්‍ය කටයුතු සියල්ලකටම ඇයව දායක කරගත්තා. එය අගය කල යුතු යි. ඇයගේ දක්ෂතාවය ඇය දිනෙක මේ ලොවම දිනන දියණියක කරාවි. ”

Exit mobile version