පෝෂණ ගුලාවක් මත හිඳ මන්දපෝෂණයෙන් මිය යන රටක් නොදත් බතල කොලයේ අරුමය…

කටින් බතල කොළ හිටවන්නේ නැතිව ඇත්ත ප්‍රශ්නයට උත්තර සොයා යමු....

ගැමුණු සාලිය පෙරේරා.

එළවළු හිඟ සහ මිල අධික අද වගේ කාලයකදී මිලෙන් අඩු, ඒ වගේම ගෙවත්තෙන් සපයාගත හැකි ඌණභාවිත එහෙත් පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් ඉහළ එළවළු පිළිබඳ දැනුම්වත් වීම සහ ඒවා වැඩි වැඩියෙන් ආහායට එක්කර ගැනීම ඉතාමත් කාලෝචිතයි.

විශේෂයෙන් අග්නිදිග ආසියානු සහ අප්රිකානු රටවල්වල ජනප්‍රිය වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඉතාම අඩු අවධානයට ලක්වුනු එළවළුවක් තමයි බතල කොළ. ඉහත රටවල්වල විවිධ සූපවේදී විධික්‍රමවලට අනුව සැකසූ බතල කොළ ආහාරයට ගනු ලබනවා.  අපේ රටේ කන්කුං ආහාරයට ගන්නා ආකාරයට බතල කොළ තෙම්පරාදුව තමයි ජනප්‍රියම ක්‍රමය. ඊට අමතරව බතල කොළ මැල්ලුම. සම්බෝලය, ෆ්රයිඩ් රයිස්වලට එක් කිරීම, පොල් කිරි හොදි සමග බතල කොළ වෑන්ජනය, බතල කොළ සුප්, මස් මාළු ඩෙවල්වලට බතල කොළ එක් කිරීම ආදි විවිධ සුපවේදී ක්‍රමවලට බතල කොළ රසවත් ලෙස ආහාරයට එක්කර ගන්න පුලුවන්.

බතල කොලයේ ගුණ

බතල කොළ විශේෂයෙන් විටමින් K සහ A කියන මේද ද්‍රව්‍ය විටමින්වලින් පොහොසත්. එකී කාරණය නිසාවෙන් මේදයේ දියවෙන විටමින් වර්ග සිරුරට උරා ගැනීම පහසු කිරීම සඳහා බතල කොළ පිසීමේදි තෙල් හෝ බටර් ස්වල්පයක් එක්කර ගැනීම යහපත් වෙනවා.

ඇස්වල පෙනීම යහපත් ලෙස පවත්වාගෙන යාමට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි පැවැත්ම, ප්‍රජනන පද්ධතියේ ක්රියාකාරිත්වය මනා ලෙස පවත්වාගෙන යාමට, වර්ධනය සහ සංවර්ධනය සඳහා විටමින් A වැදගත් වෙයි.


විටමින් A ඔබේ හදවත, පෙනහළු සහ අනෙකුත් අවයව නිසි ලෙස ක්‍රියා කිරීමට ද උපකාරී වෙයි. විටමින් K, ශරීරයේ අභ්‍යන්තර සහ බාහිර තුවාලවලදී රුධිර කැටි ගැසීම සඳහා අත්‍යවශ්‍යය වෙයි. එමෙන්ම, අස්ථි පද්ධතියේ නිසි පැවැත්මට මෙන්ම මොළයේ යහපත් ක්‍රියාකාරිත්වය සඳහාද විටමින් කේ වැදගත් වෙයි.

අනෙක් අතට  බතල කොල මැග්නීසියම් සුලභ ආහාරයක්. මැග්නීසියම් සහ විටමින් කේ හදවත් රෝගීන්ට සහ හදවත් රෝග අවදානමින් මිදීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර, මැග්නීසියම් සහ විටමින් කේ සුසංයෝගය අස්ථි පද්ධතියේ නීරෝගි පැවැත්ම තහවුරු කිරීමට ද හේතු වෙයිබතල කොළවල වඩාත් වැදගත්ම ගුණයක් වන්නේ, ඒවායේ ප්‍රතිඔක්සිකාරක සහ විකෘති සෛල ජනන ක්‍රියාකාරිත්ව වේගය අඩු කරන ද්‍රව්‍ය තිබීමයි. ඇත්ත වශයෙන්ම, පිළිකා සෛල හට ගැනීම දුර්වල කිරීම සඳහා එළවළු සහ ශාක සංයෝග වර්ග 82 ක බලපෑම් පිළිබඳ අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ බතල කොළ ඉහළම සක්‍යතාවයක් පෙන්නුම් කරන බවය. (මෙම කාරණාව සනාථ කිරීම සඳහා වැඩිදුරටත් මානව සහභාගිත්ව පර්යේෂණ අවශ්‍ය වේ) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3082074

තවද, බතල කොළවල රුධිරගත සීනි පාලනය කිරීමටත් , ව්‍යාධිජනක ක්ෂද්‍රජීවින් විනාශ කිරීමටත් හේතුවන පයිටෝ රසායනික සංයෝගවල පැවැත්ම පිලිබද සිදු කර තිබෙන ඇතැම් පර්යේෂණ අපව දිරිමත් කරවන සුලු වේ. මේ  අනුව, අපතේ යන බතල කොළ වැනි ඌණභාවිත ආහාර වර්ගවලින් විවිධ ආහාර වර්ග සම්පාදනය කර ගැනීමත්, ඒවා ජනප්රිය කරවීමත් නීරෝගී මානව යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වෙසෙින්ම ඉවහල්වන බව පැවසිය යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය සහ ජනප්‍රිය පෝෂණ විද්‍යාවෙන් වර්ථමාන ආහාර උද්දමනය හමුවේ දුක්ඛිත ලෙසින් අහිමිවෙමින් පවතින මානව පෝෂණය ගොඩ ගැනීම කළ නොහැකි බව පෙනී යයි. අහිමිවෙමින් යන මානව  පෝෂණය යලි තහවුරු කිරීම පුලුල් දේශපාලන ක්‍රියාකාරිත්වයකට අයත්  බව සැබවි. එමෙන්ම වෙළඳපොල බලවේගවලින් ඇතැම්විට අධිඋත්කර්ෂවත් කර තිබෙන ජනප්‍රිය පෝෂණ විද්‍යාව වෙනුවට වෛයිකල්ප පෝෂණ විද්‍යාවක් මහපොළව මත පැළකිරීමද අතිශයින්ම දේශපාලනික වෙයි.

එය අනෙක් අතට පෘතුවිය සතු අපතේ යන සම්පත් මානව යහපත උදෙසා මැනවින් කළමනාකරණය කිරීමක්ද වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version