පිට්සා කලාවේ පිකාසෝ කෙනෙක් වූ ලාංකික සූපවේදියා

මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර්  ඔෆ් පීට්සා‘ සහතිකය ලැබූ පළමු හා එකම ශ්‍රී ලාංකිකයා ඔහුයි...

සදෙව් රත්නායක

‘පීට්සා කියන්නේ කලාවක්. හරියට ඉගෙන ගත්තොත් දිනුම්. ඒ වගේම හොඳ ආදායම් මාර්ගයක්. මේ පීට්සා නිර්මාණ කලාව සූප ශාස්ත්‍රය ගැන උනන්දුවක් ඇති අපේ තරුණ පරපුරට කදිම අවස්ථාවක්. ‘

මෑතකදී  ජාත්‍යන්තර පීට්සා සූපශාස්ත්‍රය තුළ කෙනකුට ලැබිය හැකි ඉහළම අධ්‍යාපනික සුදුසුකම් සපුරාගත් අමල් සතරසිංහ කියයි.

ඉතාලියේ පදිංචිව සිටින අමල් එම ගෞරවනීය සහතිකයට හිමිකම් කීවේ වැනීසියේ පීට්සා ඇකඩමියේ පාඨමාලාවක් ඉහළින්ම සමත්වීමෙනි.


‘මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර්  ඔෆ් පීට්සා‘ සහතිකය ලැබූ පළමු හා එකම ශ්‍රී ලාංකිකයා

‘මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර්  ඔෆ් පීට්සා‘ සහතිකය ලැබූ අවස්ථාව

පළමු හා එකම ශ්‍රී ලාංකිකයා අමල්ය.  රටවල් 15ක ශාඛා පිහිටා ඇති මේ පීට්සා ඇකඩමියේ දී ලැබූ ජයග්‍රහණය පිළිබඳ අමල් මෙසේ පැවැසීය.

‘මේක ඇත්තටම උපාධියක්. මේ සඳහා පාඨමාලා 5ක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. ඒ පාඨමාලා 5ම සමත්වුණාට පස්සේ ප්‍රායෝගික හා ලිඛිත විභාගය පැවැත්වෙනවා. ‘

ලොව ඕනෑම රටක පීට්සා උපදේශකවරයකු ලෙස සේවය කිරීමට අවස්ථාව හිමිවූ එම පාඨමාලාවට අමල් සමග අමෙරිකානු, ඉතාලි, රුසියා හා චීනයේ පීට්සා සූපවේදින් ද එක්ව සිටියහ. ඒ අතරට එක්වූ එකම ශ්‍රී ලාංකිකයා අමල්ය.

‘පීට්සා කියන්නේ  සූපවේදින්ට ලොව පුරා අධික ඉල්ලුමක් ලැබෙන ක්ෂේත්‍රයක්.  ආර්ථික අතින් ගත්තම ඉහළම මට්ටමේ රැකියාවක්. නමුත් අපේ රටේ තරුණ පරපුරට මේ ගැන නිසි දැනුමක් තිබෙනවාද කියන එක ගැටලුවක්. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ක්ෂේත්‍රවලට යොමුවෙන්න කියලයි. හැබැයි නවතින්නේ නැතිව ඉහළටම යන්න. ආශාව වගේ උනන්දුවත්, කැපවීමත් තියෙන්නම ඕනා. මගේ අත්දැකීම් අපේ රටේ තරුණ පරපුර සමග බෙදා ගන්න ඕනෑම වෙලාවක මම සූදානම්.‘ අමල් සතරසිංහ එසේ කීවේය.

44 හැවිරිදි අමල් ඉතාලියේ ගත කරන්නේ 17 වැනි වසරය. මේ දශක දෙකකට ආසන්න කාලයේදී ඔහු විසින් අත්පත් කරගනු ලැබූ තවත් පීට්සා ජයග්‍රහණය අපමණය.

මුල්ලේරියාව රාහුල මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අමල් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වේ. ඉතාලියේදී සිය ක්‍රීඩා දස්කම් මුවහත් කරගත් හෙතෙම මේ වනවිට ඉතාලියේ ක්‍රිකට් සම්මේලනයේ සහතිකලත් තරග විනිසුරුවෙකි. රැකියාවෙන් ඉඩ ලැබෙන විවේකයේදී ඔහු ඉතාලිය පුරා ඔහු ක්‍රිකට් තරග විනිශ්චය කිරීමට එක්වෙයි.

පීට්සා කලාවටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත් අමතරව ඔහු දක්ෂ සටන් කලා ශිල්පියෙකි. ගායකයෙකි. ඒවා ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වර්ණවත් වූයේ එවැනි දේවලිනි. ඉතාලියේ පදිංචියට යාමට පෙර ඔහු ජපානයේ වසර 6ක පමණ කාලයක් ගත කළේය.  ඔහු සටන් කලාව ප්‍රගුණ කළේ ජපානයේදීය.  ඊට අමතරව ජපානයේදී ඔහු සංගීත කණ්ඩායමට එක්වී සිය ගායන හා වාදන දස්කම් ද මුවහත් කර ගත්තේය. විවිධ ක්ෂේත්‍රවලින්  ලොව ජයගත් ශ්‍රී ලාංකේය දූපුතුන් අතරට අමල් සතරසිංහ ද එක්වන්නේ ඒ අයුරිනි.

අමල් සිය පවුලේ සාමාජිකයන් සමග

අමල්ට ඇත්තේ පුදුමාකාර කියැවීමේ පිපාසයකි. ඔහු ඕනැම විෂයක් කියැවීමට උනන්දුවක් දක්වයි.

‘මම පුදුම විදියට දැනුම හොයාගෙන යන කෙනෙක්. ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් දැනුමක් ලබන්න අවශ්‍ය නම් මම ඕනෑම මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. මේ පීට්සා කලාව මම ඉගෙන ගත්තෙත් ඒ විදියටයි. ‘ ඔහු ශ්‍රී ලාංකේය තරුණ පරපුරට කදිම ආදර්ශයකි.

අමල් සිය ජීවිතය වර්ණවත් කරගත්තේ නිසි කළමනාකරණයකින් යුතුවය. ඒ සඳහා ඔහු නිවැරැදිව සැළසුම් කළේය. ඒවා තරුණ පරපුරට ඉතා වැදගත්ය. වෘත්තියෙන් පීට්සා සූපවේදියකු වූවත් ඔහු තමා තුළ සැඟව ඇති විවිධ හැකියාවන් එකිනෙක හඳුනාගනිමින් ඒවා ද ඉස්මතු කරගැනීමට සමත්වීම පුදුමාකාරය.

ඒ සියල්ල අතරතුර ඔහු දහම් පාසල් ගුරුවරයකු ලෙස ද කටයුතු කරයි. ඉතාලියේ ලූක්කා නගරයේ සමාධි සිංහල පාසලේ දී එහි වෙසෙන බොදු දරුවන්ට ගුණ නැණ කියා දෙන අමල් ශ්‍රී ලංකාවේ සිටි කාලයේදීත් දහම් පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

පීට්සා ක්ෂේත්‍රය පිළිබඳවත්, පීට්සා සූපවේදින්ට ජාත්‍යන්තරය තුළ ඇති පිළිගැනීමත් ශ්‍රි ලංකාවේ නොමැතිවීම එක්තරා අන්දමකට කනගාටුදායක කරුණකි. අනිත් අතට මෙරට තරුණ පරපුර පීට්සා ක්ෂේත්‍රයට යොමු වීමට ඇති බාධකයක් ද වේ.

‘ජාත්‍යන්තරයේ පීට්සා සූපවේදින්ට ඉහළ වැටුප් ලැබෙනවා. ඒ වගේම ලොකු පිලිගැනීමකුත් ලැබෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි දවසක ලංකාවට ඇවිත් මේ දැනුම අපේ තරුණ පරපුරට කියා දෙන්න.‘ අමල් එසේ කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේ ඉතාලියේ ලූක්කා නුවර සුප්‍රකට පීසා කුලුන ආසන්නයේය. අමල්ගේ පවුලේ සාමාජිකයන් සිවුදෙනෙකි. බිරිඳ ඉන්දු ජයවික්‍රම ද ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂය. පුතු ඉනෝන් නිම්සඳු සහ දියණිය ඉනොලි  විසාක්‍යා අමල් – ඉන්දු කැදැල්ලේ සුරතලුන්ය.

Exit mobile version