තාත්තා ඉන්දීය අත්අඩංගුවෙන් මුදවා ගන්න කඳුළු හෙළන ලංකාවේ ඔලිම්පික් තරුව…

පාරමී වසන්ති මාරිස්ටෙලා දියණිය ගැන සමහර විට ඔබට අමතක ඇත. ඇය මෑත කාලයේ ලංකාව සතුව සිටි ප්‍රභාමත්ම ක්‍රීඩා තාරකාවය.  එකම අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවය.   බුඑනෝ අයර්ස් හි 2018 දී පැවති තුන් වැනි යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර 2000 බාධක දිවීම තරගයේ ලෝකඩ පදක්කම දිනා ගන්නී ඇයය.  ඇය ඉතිහාසගත වන්නේ  යොවුන් ඔලිම්පික්  ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් මුල්ම පදක්කම දනූ ලාංකිකයා ලෙසය.

ඇය ලද  එම ජයග්‍රහණය , ඩන්කන් වයිට් (1948 ලන්ඩන් ) සහ සුසන්තිකා ජයසිංහට (2000 සිඩ්නි) පසුව ඔලිම්පික් වර්ගීකරණය හිමිවන ජාත්‍යන්තර තරගයක දී ලංකාව දිනූ මුල්ම පදක්කම ය. එමෙන්ම 2008 වසරේ පූනේහි පැවති පොදු රාජ්‍යමණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී ෂෙහාන් අඹේපිටිය සහ සහාය දිවීමේ කණ්ඩායම දිනූ රන් පදක්කම්වලට පසුව ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ මළල ක්‍රීඩා තරගයකදී ලද මුල්ම පදක්කම ද මෙය ය.

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලාගේ පියා ධීවර කාර්මිකයෙකි. මීට මාස තුන හමාරකට කලින් ඉන්දීය මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට  ගත්තේය. ඒ වග ආරංචි වී තිබුණේ මුහුදේ සිට ගොඩ පැමිණි තවත් බහුදින යාත්‍රාවකිනි.  ඒ තොරතුර පමණි. ඔහු ගැන මේ වනතුරුත් කිසිම ආරංචියක් නැත.


පාරමී මෙවර උසස් පෙළ විභාගය කරන්නීය. පාරමීගේ අක්කා මේ වනවිට සබරගමුව සරසවියේ අධ්‍යාපනය ලබන්නීය. තාත්තාගැන ආරංචි මාත්‍රයක් නැතිව ජාත්‍යාන්තරය දිනූ, අනාගත ශ්‍රී ලාංකිකක බලාපොරොත්තුවක් වූ මේ යොවුන් ක්‍රීඩිකාව දැන්  ඉන්නේ බිඳ වැටුණු අසරණියක ලෙසිනි.

පාරමී ගේ අම්මා රීටා මාග්‍රට්ය. රීටා නෙත් නිවුස්වෙත   ඇයගේ වේදනාව කියා තිබුණාය.
“ එයා ජනවාරි 06 දා ත්‍රී කුණාමලේ වරායෙන්  පසුගිය ජනවාරි 06 වැනිදා මුහුදු ගියා. බහුදින යාත්‍රාවකින් ගියෙ. ජනවාරි 28 දා අපට ආරංචි උනා ඉන්දීය සීමාවට ගියා කියලා  එයා එක්ක තවත් පුද්ගලයො 05ක්  ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා කියලා.

අපි මේ බව බෝට්ටුව අයිති මහත්තයට කිව්වා.   බෝට්ටුව අයිති මහත්තයා ධීවර අමාත්‍යාංශයට වගේම දැනුම් දෙන්න ඕන හැම තැනටම  දැනුම් දීලා තිබුණා.  අපි දැන් අන්ත අසරණයි. මට මගෙ මහත්තයා ගෙන්නලා දෙන්න.  ලොකු දූ ක්‍රීඩා විෂය හදාරන්න සබරගමුව කැම්පස් එකේ. පොඩි දූ මේ අවුරුද්දෙ උසස් පෙළ කරනවා.  පොඩි දූ පාරමී අහන්නෙ තාත්තා කවද්ද එන්නෙ කියලා. එයාලගෙ අධ්‍යාපනයවත් හිත එක ලඟ තියාගෙන කරගන්න බැරි වෙලා තියනවා.“  පාරමීගේ අම්මා කියන්නී ඒ දියණියගේ අනාගතය විසිරෙමින් ඇති ආකාරයයි.

පාරමී කතා කරන්නී  හැඬුම්බරවය.

තාත්තා රස්සාවට ගියෙ වියදම් හොයාගන්න. එයා කළේ දවසෙ රස්සාවෙ. මෙහෙම බහුදින යාත්‍රාවක ගියේ පළවෙනි පාර.  අනේ පළවෙනි වතාවටම ගිය ගමනෙදි තමයි තාත්තා මේ අහුවුනේ. ““

“එයා ඉන්නවා කියන්නෙ ඉන්දියාවෙ අන්දමන් දූපත්වල. තාම තොරතුරු ලැබිලා තියෙන්නෙ එහෙම. තාත්තා දැන් ගිහින් මාස තුන හමාරකට වැඩියි.  කතාවත් කළේ නෑ. මම දන්නෙ නෑ තාත්තා හොඳින් ඉන්නව ද නැද්ද කියලවත්.“

“ මේ ඔක්තොම්බර් මාසෙ තමයි මම ඒ ලෙවල් කරන්නේ.  මට තාත්තා මතක් වෙනවා. පාඩමක් කරගන්නවත් බෑ. අක්කා කැම්පස් එකේ. මගෙ වියදම් ටික අක්කගෙ වියදම් ටික කළේ තාත්තා.  අම්මා කොහොම ද දැන් මේ ඔක්කොම කරන්නෙ.  අපිට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. අනේ තාත්ත කොහොම හරි ගෙනත් දෙන්න.“

අපට  කතා කරන්නට බැරි තරමට අප රාජ්‍ය තාන්ත්‍රිකව අවුලකය. අපේ ධීවරයින් කිසිම තොරතුරක් නොදී මාස ගණන් සිර කරගෙන සිටින්නේ ඉන්දියානු ධීවරයින් අපේ මුහුදු සීමාව ආක්‍රමණය කරන විට නාවික හමුදාව යොදවා ආපසු හරවා යවමින් සිටිය දීය. අත් අඩංගුවට ගත් ධීවරයින්ව සතියක්වත් තබා නොගෙන නිදහස් කරන්නට සිදුවන වටපිටාවක දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ රටේ සෑම පුරවැසියෙකුටම ඇත්තේ එකම වටිනාකමක් බව සැබෑය. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් කරන්නට අවශ්‍ය  පෞරුෂය ඇත්නම් මේ මිනිසුන් ඉන්දියාවේ අන්දමන් දූපත්වල මෙසේ අතුරුදන් වන්නට ඉඩක් නැත. එහෙත් මේ අතර ඉන්නේ ශූර දියණියක් බිහි කර ඇය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කර මේ රටේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවක් ගොඩ  නැගූ දිරිමත් ධීවරයෙකි.  මේ අසරණයින් වෙනුවෙන් මැදිහත් වීමට කොන්දක් මේ රටේ ධීවර අමාත්‍යවරයාට නැති නම් ඉන්දියානු මුහුදු සීමාවට ගොස්  උද්ඝෝෂණය කිරීම  මහා කතා මොන ප්‍රලාපයන් දැයි සිහි බුද්ධිය ඇති මිනිස්සුන් කල්පනා කළ යුතුය.

 

 

Exit mobile version