තමන්ගේ සංස්කෘතියට  ගරු කරමින් අනෙක් සංස්කෘතීන් ඉගෙන ගන්න… ලෝකය ලස්සන වේවි… බුද්ධාගමට A ගත් මුස්ලිම් දියණිය

බුද්ධාගමට සහ සිංහල විෂයයන්ට  A සාමාර්ථ ගත් වැල්ලවායේ  මුස්ලිම් දියණිය රටට කියන කතාව

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දුව ඉගෙන ගන්නේ වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේය.

අයිෂා අමිනා දුව ගැන බොහෝ දෙනෙක් අමුතු ආශ්වාදයකින් කතා කරමින් සිටින්නේය. ඒ මේ මුස්ලිම් දියණිය  2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බුද්ධ ධර්ම විෂය හදාරා අති නිසාය.  ඉන් ඒ සාමාර්ථයක් ලබාගෙන සමත් වී ඇති නිසාය.  ඇය බුද්ධ ධර්මයට පමණක් නොව සිංහල විෂය ඇතුළු විෂයයන් නවයටම ඒ සාමාර්ථ ගෙන සමත් වී ඇත්තීය.

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දුවගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන අයෙකි. අම්මා ගෘහණියකි.


සිය ජයග්‍රහණය ගැන ඇය අමුතු කතා නොකීවාය. ඉතාම දැනෙන සුළු සේ ඇය අපට කීවේ ඇයගේ අම්මා සහ තාත්තා ගැනය.

මට නිදහසේ ඉගෙන ගනන් දුන්නු අම්මටයි තාත්තටයි ගොඩක් ස්තුතියි. ඒ දෙන්නට මුලින්ම ඒ ගෞරවය දෙන්න ඕන.

බුද්ධ ධර්මය කියන්නෙ මට සංස්කෘතිකව ආධුනික විෂයයක්.  බුද්ධ ධර්මය විෂය ඉගැන්වුවේ ජිනරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ විෂය ඉගැන්නුව විදිහ හරිම ආකර්ෂණීයයි.

මට අරමුණක් තිබ්බා විභාගය හොඳටම සමත් වෙන්න. මා ඒ වෙනුවෙන් වැඩ කළා. මගේ ජයග්‍රහණය පිටිපස්සේ සිටියේ පන්ති භාර සුපුන් ගුරුතුමා ඇතුළු ගුරුවරුන් පිරිසක්.

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා

ගාථා ඉක්මනින් පාඩම් හිටිනවා…

මම 1 වසරේ ඉඳලම සිංහල බුද්ධාගම ඉගෙන ගත්තා. මට ඒ විෂයන් ගැන ලොකු අමුත්තක් දැනුණේ නෑ. බුද්ධාගම ඉගෙන ගන්න කොට ගාථා කවි වගේ දේවල් මට හරි ඉක්මනින්ම පාඩම් හිටිනවා. ඒවයෙ තියෙන තේරුම් වලට මම හරි කැමතියි. ඇත්තටම ආයාසයකින් තොරව මට ඒවා මතක හිටිනවා. ජාතක කතා වුණත් එහෙමයි. ඒ කතාවල ඇතැම් චරිත අපිට හරිම සමීපයි.“ ඇය කීවාය.

අත් අකුරු කියන්නේ කෙනෙකුගේ අනන්‍ය තාවය. අමීනා සිංහල අකුරු මුතු ඇට සේ ලියන්න දක්ෂය. ඇය පාසලේ සහ සෙසු පාසල් අතර පැවති අත්අකුරු තරඟ වලට සහභාගී වී ඇත. සිංහල භාෂාව උනන්දුවෙන් ප්‍රගුණ කර ඇති අමීනා රචනා තරඟ සිංහල භාෂා දින තරග ආදියට සහභාගි වෙමින් සිය දක්ෂතාවයන් තවදුරටත් ඔප් නංවා ගෙන සිටී.

” සිංහල කියන්නේ තවත් එක් භාෂාවක්. එහි තිබෙන ව්‍යාකරණ රසාස්වාදය වචන හරිම සරලයි. ඒ වගේම හරිම අර්ථවත් මේවා අපේ ජීවිතේටත් වැදගත්. මම සිංහල ඉගෙන ගත්තෙ හරිම ආසාවෙන්. බුද්ධාගම ඉගෙන ගන්න  මම අමතර පන්ති ගියේ නැහැ. සිංහල ඉගෙන ගත්තෙ සුපුන් සර්ගෙන් නවය වසරෙදි විතර. මම සුපුන් සර් ළඟටම සිංහල ඉගෙන ගන්න   අමතර පන්ති ගියා. ඒත් අසාවෙන් කරනවා නම් පාසලේ උගන්වන දේ හොඳටම ඇති.“

ඒ වගේම මටම ගේ යහළුවොත් හුඟක් උදව් කළා.

අපිට ලෝකෙ වෙනස් කරන්න පුලුවන්.

“පුතාගේ අවසන් බලාපොරොත්තුව මොකක් ද?. “ අපි ඇයගෙන් ඇසුවෙමු.

“මගේ බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වෙන්න.“ ඇය කීවාය.

”ඒ වගේම මට කියන්න තවත් දෙයක් තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු වුනත් අපේ ආගමට භාෂාවට ගරු කරමින් ඒ අදහමින් ඉන්න ඕනෑ.  ඒ අතරම සෙසු ආගම් හා භාෂා ඉගෙන ගන්නත් ඕනෑ. එවිට අපට අනිත් ජාතීන් ආගම් පිළිබඳ ලොකු අවබෝධයක් එනවා. මම හිතන්නේ අපේ අනාගතයට වැදගත් වෙන්නේ අන්න ඒ කාරණාව. “

“මොකද එතකොට ශ්‍රී ලාංකිකයෝ විදිහට අපට හැම ආගමක් ගැනම හැම භාෂා වක් ගැනම හොඳ අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන්…. එවිට රටක් ඇතුලේ ජාතීන් අතර කිසිම අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය මොනතරම් අපූරු දුවක් දැයි අපි තවම කල්පනා කරමු.

Exit mobile version