ටයිම්ස් තේරූ ලෝකයේ හොඳම දරුවා ගේ කතාව

හැම දරුවෙක්ම හොඳයි.. ටයිම්ස් සඟරාව තේරුවේ ඇයයි... 

සදෙව් රත්නායක –

ලෝක ප්‍රකට ‘ටයිම්‘ අමෙරිකා සඟරාවේ නවතම කලාපය මේ මස 14 වැනිදා නිකුත් වන්නේ අන්තර්ජාතික වශයෙන් මෙතෙක් කාලයක් අඩුවක්ව පැවැති සමාජ සද්කාර්යයකට අත ගසමිනි. 1923 වසරේ මාර්තුවේ අමෙරිකාවේ නිව්යෝක් නුවරදී බිහි වූ මේ විශිෂ්ට සඟරාව වසර 97කට පසුව ‘වසරේ හොඳම දරුවා‘ තේරීමට අවධානය යොමු කර ඇත. ලොව පුරා මිලියන 2.4ක් පමණ අලෙවි වන ‘ටයිම්‘ සඟරාව සිය අලුත්ම විශේෂාංගය සමග දරුවන්ගේ ලෝකයටත් එබිකම් කරන්නේ ඒ අයුරිනි. 

ගීතාංජලී රාඕ

ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් ‘ටයිම්‘ සඟරාවේ කවරය සරසමින් වසරේ හොඳම දරුවා ලෙස නම්  කර ඇත්තේ  15 හැවිරිදි ගීතාංජලී රාඕ ය. ඉන්දීය සම්භවයක් සහිත ඇය ඉතා බුද්ධිමත් ළමා විද්‍යාඥවරියකි. නව නිපැයුම් සොයා යන්නීය. කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසින් තෝරාගනු ලැබූ ‘2020 වසරේ හොඳම දරුවා‘ දැන් අමෙරිකාවේ ජනප්‍රිය චරිතයකි.

අමෙරිකාවේ පදිංචි විවිධ ක්ෂේත්‍ර තුළින් අතිවිශිෂ්ට දස්කම් පෙන්වන වයස අවුරුදු 8-16 අතර දරුවන් පන්දහසක් අතරින්  තෝරාගත් වසරේ හොඳම දරුවන් පස්දෙනා අතරින් මුල් තැනට පත්වූ ගීතාංජලී රාඕ 2017 වසරේදී තරුණ විද්‍යාඥවරියට හිමි අභියෝගතා සම්මානය දිනාගනිමින් එරට වැඩි අවධානයට ලක්වූවාය. ඇය ලොව පුරා පැවැත්වෙන නවෝත්පාදන වැඩමුළු සඳහා සහභාගි වෙමින් මේ වසරේදී හොඳම තරුණ නවෝත්පාදන නිමැවුම්කාරිනිය ලෙසත් ගරු බුහුමන් ලැබුවාය. 


කුඩා වියේ සිටම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව සම්බන්ධව හඬක් නගමින් ඇය අධ්‍යාපනය ලබන පාසල තුළ කැපී පෙනෙන සිසුවියක බවට පත්වූ ගීතාංජලි රාඕ දැරිය පවසන්නේ ඇය විද්‍යා විෂය කෙරෙහි යොමු වූයේ එවකට 10 හැවිරිදි දැරියක ලෙස රූපවාහිනි ප්‍රවෘත්ති නරඹමින් සිටියදි මිචිගන් නුවර ෆ්ලින්ට් පළාතේ පානීය ජල අර්බුදයක් සම්බන්ධව පැන නැගුණු ගැටලුවක පුවතක් හේතුවෙන් බවය. ජලයේ අන්තර්ඝත සංඝටක මැන බැලීමේ උනන්දුව අවසානයේදී ජලයේ ගුණාත්මකභාවයේ තොරතුරු ‘බ්ලූටූත්‘ තාක්ෂණය හරහා ලබාගැනීමට හැකි අයුරින් ‘කාබන් නැනෝටියුබ්ස්‘ මත පදනම්ව ටෙතිස් නමින් උපකරණයක් නිර්මාණය කිරිමට ඇය පොළඹවාලීය. නව සොයාගැනීම් අධ්‍යයනය කරන හොඳම තරුණ විද්‍යාඥවරියට හිමි අභියෝගතා සම්මානය ඇයට හිමිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වෙනුවෙන් ඇයට අමෙරිකානු ඩොලර් විසිපන්දහසක මුදල් ත්‍යාගයක් ද හිමිවිය. ඊට පෙර ඇය පාසල තුළ ප්‍රකට වූයේ සයිබර් හිරිහැර (cyber bullying ) කල්තියා හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය භාවිත යෙදුමක් නිර්මාණය කිරීමෙනි. එම මෘදුකාංගයේ නම ‘කයින්ඩ්ලි‘ ය.

‘මට එය කළහැකි නම් ඔබටත් එය කළ හැකියි. ඕනෑම කෙනකුට එය කළ හැකියි‘ ඇය නවතම ‘ටයිම්‘ සඟරාවේ කවරයේ කතාවේ දී එසේ කීවේ ලෝක ප්‍රකට නිළි ඇන්ජෙලිනා ජොලී  සමග පිළිසඳරකට එක්වෙමිනි. 

ගීතාංජලිගේ මාපියන් භාරති සහ රාම් රාඕ ඉහළ අධ්‍යාපනික පසුබිමක් සහිත වූවෝ වෙති. ඔවුහු සිය දියණියගේ නොඉවසිලිවන්ත උත්සාහයටත්, ඇය සතු බුද්ධියටත් සාධාරණය ඉටු කරමින් නිරතුරුවම ඇයට දිරිය සපයති. 

ඔවුන්ට අනුව දියණිය විද්‍යාව සහ තාක්ෂණය භාවිත කරමින් සමාජයීය වෙනසක් ඇරැඹීම ගැන සිතන්නට පටන්ගෙන ඇත්තේ දෙවැනි හෝ තුන්වැනි පන්තිවල ඉගෙනුම ලබමින් සිටියදීය. තවත් වසර කිහිපයකට පසුව එනම් 7 වැනි පන්තියේදී ඇය විසින් ටෙතිස් උපකරණය නිර්මාණය කරනු ලැබුවාය. මේ යොවුන් දැරිය නව සොයාගැනීම් කෙරෙහි ඇති අවධානයට අමතරව පියානෝ වාදනයටත්, ඉන්දීය ශාස්ත්‍රීය නර්තනය හා ගායනය මෙන්ම පිහිනුම් හා කඩුහරඹ ක්‍රීඩාව කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරන්නීය. 

විස්මිත බුද්ධියක් සහිත මේ දැරිය ‘ටයිම්‘ සඟරාවේ කවරයට පෙනී සිටිමින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාව අතිශයින්ම ඉහළ මට්ටමක පවතින බව ඇය සමග පිළිසඳරට එක්වූ ලෝ ප්‍රකට නිලියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන ඇන්ජෙලීනා ජොලී වෙනම සටහනකින් ප්‍රකාශ කළාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ ගීතාංජලී සමග කතාබහ කිරීමේදී ඇයට අවුරුදු 60ක් වයසැති විද්‍යාඥයකු සමග කතාබහ කරමින් සිටින ආකාරයක් දැනුණු බවය. 

‘මම ඔබ දකින සාමාන්‍ය විද්‍යාඥයකු නොවේ. මම රූපවාහිනියෙන් දකින සෑම විද්‍යාඥයකුම වයස්ගත සුදු මිනිසුන්ය. පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, වයස, සමේ පැහැය වැනි සරළ දේවල් පිළිබඳ මිනිසාගේ අවධානය යොමු වීම හාස්‍යජනකය. මගේ අවධානය ඉන් ඔබ්බට ගිය එකකි. මගේ අවධානය යොමුවන්නේ ලෝකයේ පවතින ගැටලු විසඳීම සඳහා උපාංග නිර්මාණය කිරීම පමණක් නොව අනෙක් අයද එවැනි ක්‍රියාකාරකම්වලට පෙළඹවීම කෙරෙහිය.‘

 

මේ කුඩා වයසේදී ඇය අන්තර්ජාතික වැඩමුළු ගණනාවකට ද සහභාගි වෙමින් සිය දැනුම සෙසු ජාතීන්වලට අයත් දරුවන් සමග බෙදා හදා ගත්තාය.  තම ක්ෂේත්‍රය තුළ නිම්වළලු පුළුල් කරගනිමින් දැනුම මුවහත් කර ගත්තාය.

‘වැඩමුළු ගණනාවකට සහභාගිවීමේදී මම අවබෝධ කරගත් වැදගත්ම කරුණ වන්නේ ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි ඔවුන් නොදැන සිටීමය. මා සිතනුයේ වැඩිහිටි බුද්ධිමතුන්ගෙන් ඊට නිසි මාර්ගෝපදේශයන් ලැබෙන්නේ නම් ඔවුන්ට එය ගොඩ නගා ගත හැකි වනු ඇත. එවිට සියල්ල වෙනස් කිරිමට කදිම අඩිතාලමක් වැටෙනු ඇත. ඉන් පැහැදිලි වන්නේ ගැටලු විසඳීම සඳහා ඉදිරිපත් වීමට මා හැරුණු විට තවත් පුද්ගලයන් ලොව සිටින බවය.‘

ගීතාංජලී රාඕ පසුගිය කාලයේ මාස ගණනාවක් ගත කළේ නිවස තුළට කොටුවූ ජීවන රටාවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් අමෙරිකාවේ ජනජීවිතය කඩා වැටීමෙන් ඇයට මේ බලපෑම සිදුවී තිබිණි. 

‘සැබැවින්ම නිවස තුළට කොටුවී සිටි කාලය මා වැය කළේ අවුරුදු 15ක සාමාන්‍ය දැරියක මෙන් නොවේ. මම බොහෝ ආහාර වර්ග බේක් කළෙමි. ඒවායින් බොහෝ ආහාර මස්, බිත්තර වැනි දෙවියන්ගේ උදහසට ලක්වන ඒවාය. එය හොඳ දෙයක් නොවේ. නමුත් මම එසේ ක‍ළෙමි. එය එක් ආකාරයක  විද්‍යාවකි. නමුත් එය මගේ විෂය පද්ධතිය නොවේ. බොහෝ විට අප නිවසට බිත්තර ගෙනෙන්නේ නැත. පිටි වැනි දේවල් ගෙනෙන්නෙත් කළාතුරකිනි. එබැවින් මට සිදුවූයේ අන්තර්ජාලයේ සැරිසරමින් බිත්තර නැති, පිටි නැති, සීනි නැති ආහාර වර්ග සොයා ඒවා අත්හදා බැලීමටය. මම මෑතකදී පාන් පුළුස්සා ගත් අතර එය සාර්ථක උත්සාහයක් විය. ඉතින් මම මා ගැන ආඩම්බර වෙමි. ‘

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගීතාංජලී රාඕගේ ඉලක්කය වී ඇත්තෙ ලොව පවතින ගැටලු විසඳීම සඳහා උපාංග නිර්මාණය බහුලව සිදු කිරීමය. අන් අය ද එසේ කිරිමට පෙළඹවීමය. ඇය කියන්නේ ලෝක ප්‍රජාව මීට පෙර අත්විඳ නොමැති බොහෝ ගැටලුවලට වර්තමානයේදී මුහුණ පා සිටින බවය. ඒ අතරතුර විසඳුමකින් තොරව පවතින පැරැණි ගැටලු ද ඒ ආකාරයෙන්ම පවතින බව ඇය කියන්නීය. 

 

Exit mobile version