ගැහැණුන්ට කළ නොහැක්කක් නොමැත

සදෙව් රත්නායක –

සටන් කලාව එහෙමත් නැතිනම් මාෂල් ආට්ස්  කියන්නේ ත්‍රාසජනක ක්‍රීඩාවක් බව කවුරුත් දන්නවා. මිශ්‍ර සටන් කලාව ඊටත් වඩා භයානකයි. ත්‍රාසජනකයි.  මිශ්‍ර සටන් කලාව ‘කික් බොක්සිං‘ නමිනුත් හඳුන්වනවා. බොක්සිං අත්වැසුම් පැලඳ බොක්සිං වළල්ලක ක්‍රීඩා කළත් ඕනෑම මොහොතක ප්‍රතිවාදියාගේ හකු පාඩා පුපුරුවා දමන වේගවත් පා පහරවල් එල්ල කෙරෙන මිශ්‍ර සටන් කලාව ගැහැනුන් කොහොමද ගැළපෙන්නේ…? 

ඊට හොඳම පිළිතුර ඊයේ පෙරේදා අමෙන්ඩා නියුන්ස් ලබා දුන්නේ ලාස් වේගාස් නුවර පැවැති මිශ්‍ර සටන් කලාවේ ( Ultimate Fighting Championship– UFC ) 250 වැනි තරගමාලාව අතරතුරදියි. 

බ්‍රසීලයේ උපන් 32 හැවිරිදි මේ අපූරු ක්‍රීඩිකාව එදා ලාස් වේගාස් නුවර මිශ්‍ර සටන් කලාවට වෙන් කළ බොක්සිං වළල්ලේදී සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව කැනඩාවේ ෆිලීෂියා ස්පෙන්සර් පරාජයට පත් කරමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත්වූයේ නරඹන්නන්ගෙන් තොරව පැවැති බොක්සිං වළල්ලේ සිය අණසක නිදහසේ පතුරුවාලමිනුයි. 


ඇය තමයි වර්තමානයේ මිශ්‍ර සටන් කලාවේ ආධිපත්‍ය පතුරුවාලූ විශිෂ්ටතම ක්‍රීඩිකාව. මීට පෙර මිශ්‍ර සටන් කලාවේ බැන්ටම්වේට් බර පන්තියේ ශූරතාව දිනා සිටි අමෙන්ඩා එදා ලාස් වේගාස් නුවරදී ප්‍රතිවාදී ක්‍රීඩිකාව පස්වැනි වටයේදී පරාජයට පත් කරමින ෆෙදර්වේට් බර පන්තියේ ශූරතාව දිනාගත්තේ බර පන්ති දෙකක ශූරතා දිනූ ලොව පළමු මිශ්‍ර සටන් කලා ශූරියගේ වාර්තාවත් අත්කර ගනිමිනුයි. UFC  සටන් ඉතිහාසයේ එකවර බර පන්ති දෙකකට හිමිකම් කී පළමු හා එකම ක්‍රීඩිකාවත් ඇයයි. 

 ‘ඇගේ පළමු ප්‍රහාරයෙන්ම මම දැනගත්තා ඇයට මා පරාජය කිරීමට නොහැකි බව‘විනිසුරුවන්ගේ ඒකමතික  තීරණයට අනුව අමෙන්ඩාට ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමග මිශ්‍ර සටන් තරග බිමේ නොම්මර එකේ ක්‍රීඩිකාව බවට පත්වූ අමෙන්ඩා තරගයෙන් පසුව එසේ කියා සිටියේ ඉමහත් ප්‍රීතියෙන් යුතුවයි.

‘මට වුවමනා කළේ වට පහක් දක්වාම තරගය ඇදගෙන යාමටයි. ඊට කළින් ඇය බිම දැමීමට මට හැකියාව තිබුණත් වට පහක් දක්වා තරගයක් ඇදගෙන යාමට මට ශක්තියක් නැති බවට ඇතැමුන් නැගූ උපහාසාත්මක චෝදනාවලට පිළිතුරු දෙන්නත් මට වුවමනා කළා.‘ ඇය එසේ කියා සිටියා.

‘මට කිසිම වෙහෙසක් දැනුණේ නෑ. මම තමයි මිශ්‍ර සටන් කලාවේ ශක්තිමත්ම ක්‍රීඩිකාව කියා ඔප්පු කරන්නත් මට වුවමනා කළා.‘

අමෙන්ඩා බැන්ටම්වේට් ශූරතාව දිනාගත්තේ 2018 වසරේ දෙසැම්බරයේ පැවැති 238 වැනි තරගමාලාවේදීයි. එදා සිට වර්තමානය දක්වා ඇගේ බැන්ටම්වේට් කිරුළට අභියෝග කිරීමට තරම් හැකියාවක් ඇති ක්‍රීඩිකාවක් සිටියේ නෑ. 

‘මම කළේ මීට කළින් කවුරුවත් නොකළ දෙයක්. මම තමයි මේ බොක්සිං වළල්ලේ විශිෂ්ටතම ක්‍රීඩිකාව. මට වට 6ක් දක්වා තරග කිරීමට තරම් ශක්තියක් තියෙනවා.‘ ඇය දැන් එසේ කියනවා.

බ්‍රසීලයේ ඉතා කුඩා ගම්මානය උපත ලැබූ අමෙන්ඩා අවුරුදු 4දී කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට පටන් ගත් අතර බොක්සිං ක්‍රීඩාවට සේන්දු වූයේ අවුරුදු 16දියි. නමුත් ඇයට තරග කිරීමට තරම් වුවමනාවක් එකළ තිබුණේ නෑ. ඇය සටන් කලාව ප්‍රගුණ කළේ විනෝදයට වගේ. ඒත් මුලින්ම බ්‍රසීලයේ ජියු ජිට්සූ සටන් කලාවේ තරගාවලියකට ක්‍රීඩා කළ ඇයට ඩෝජෝ සටන් කලාවට පිවිසෙන ලෙස ඇරියුම් කළේ ඇගේම සොයුරිය විසිනුයි. ඇගේ සොයුරිය ඩෝජෝ සටන් කලාවේ විශිෂ්ට දස්කම් පෙන්වමිනුයි සිටියේ. 

පසුකාලෙක අමෙරිකාවේ නිව් ජර්සි නුවර පදිංචියට ගිය අමෙන්ඩා සටන් කලාව සඳහා වෙන්වූ එක්තරා ක්‍රීඩා සමාජයට බැඳී තව දුරටත් සිය දස්කම් මුවහත් කරගැනීමෙන් පසුව මයාමි නුවරට සේන්දු වුණා. මිශ්‍ර සටන් කලාවට ඇය පිවිසියේ මයාමි නුවරදීයි. 

සිය පළමු මිශ්‍ර සටන් කලා තරගමාලාවේදී තත්පර 14ක් ඇතුළත ප්‍රතිවාදී ක්‍රීඩිකාව බිම හෙළමින් තමා සියලුම ක්‍රීඩිකාවන්ට අභියෝගයක් බව පෙන්නුම් කළ අමෙන්ඩා ඉන් අනතුරුව සටන් කළේ දැඩි ජයග්‍රහණ පිපාසයකින් යුතුවයි.

ඇය ඉන් අනතුරුව මිශ්‍ර සටන් කලා තරග බිමේ බැන්ටම්වේට් බර පන්තියේ ශූරතා 5ක් දිනාගැනීමට සමත්වූ අතර එම සටන් කලාවේ වැඩිම ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩිකාව බවටත් පත්වුණා. මීට අමතරව එම තරග ඉසව්වේ වැඩිම වාර ගණනක් ප්‍රතිවාදී ක්‍රීඩිකාව ‘නොකවුට්‘ ක්‍රමයට පරාජය කළ ක්‍රීඩිකාව ලෙසත් ඇය වාර්තාපොතට එක්වුණා.මේ අසමසම දස්කම් හේතුවෙන් මිශ්‍ර සටන් කලා තරග බිමේ සිංහ ධේනුව නමින් කාගෙත් ආදරයට පාත්‍ර වූ අමෙන්ඩා 2018 සහ 2019 වසර 2දිම මිශ්‍ර සටන් කලාවේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානත් දිනාගත්තා. 

මේ දක්වා තරග 24කට ක්‍රීඩා කර ඇති අමෙන්ඩා පරාජයට පත්වූයේ තරග 4කින් පමණයි. ඇය ජයගත් තරග 20කින් තර 13ක්ම නිමාවට පත්වුණේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව ‘නොකවුට්‘ කිරීමෙනුයි. 

ඇය විවාහ වී සිටින්නේ කාන්තා මිශ්‍ර සටන් කලාවේ ස්ට්‍රෝවේට් බර පන්තියෙන් තරග වදින 34 හැවිරිදි නීනා අන්සාරොෆ් සමගයි.  සමරිසි විවාහය ඇගේ සටන් කලා ජීවිතය තවත් ශක්තිමත් කළ බවයි අමෙන්ඩා කියන්නේ. අඩි පහකුත්, අඟල් අටක් උසැති හැඩි දැඩි සිරුරකින් යුතු අමෙන්ඩා සිය සටන් කලා ජීවිතය වගේම විවාහ ජීවිතයත් ඉතා සාර්ථකව ගත කරන බවයි වාර්තා වෙන්නේ.

බ්‍රසීලයේ ජියු ජිට්සූ සටන් කලාවේ කළුපටි ලාභිනයක් වගේම ජූඩෝ සටන් කලාවේ දුඹුරු පටි ලාභිනියක වන අමෙන්ඩාගේ එකම සිහිනය බවට පත්වී ඇත්තේ මිශ්‍ර සටන් කලාවේ ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සිය නාමය රන් අකුරින් ලියා තැබීමයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සම්ප්‍රදායික කාන්තාවගේ මුළුතැන්ගෙයි භූමිකාව අභියෝගයකට ලක් කරන මේ අපූරු ක්‍රීඩිකාව නිතර නිතර අසන පැණය වන්නේ ‘ගැහැනුන්ට මොනවද කරන්න බැරි…?‘ කියලයි.

 

Exit mobile version