ගලාගෙන ගිය දොල පාර ලේ පාට වෙලා තිබුණා… කිසිවෙක් ජීවත් වෙතැයි සිතුවෙ නෑ,..

අනතුර වූ ස්ථානයට ගොස් ප්‍රතිකාර කළ බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ අත්දැකීම...

සටහන  සමන්තිකා වීරවර්ධන –

“උදේ 7‍’30ට විතර මට පස්සර GMOA ගෙන් දුරකථන ඇමතුමක් ආවා බදුල්ල මොනරාගල 13 කණුව අසල  බස් අනතුරක් වෙලා තියෙනවා. ඉක්මනින් උදව් ඉල්ලුවා. මම ඒ වෙලාවේම බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයාට කථා කරලා මේ විස්තරේ කියලා අපිට ඇබ්බියුලන්ස් අවශ්‍ය කීව්වා. අධ්‍යක්ෂවරයා කිව්වා රෝහලේ තියෙන ඔක්කොම ඇම්බියුලන්ස් ටිකගන්න කියලා. මම ක්ෂණයෙන් ක්‍රියාත්මක වුණා. තවත් ඩොක්ටස්ලා දෙතුන් දෙනෙකුයි නර්ස්ලා දෙනෙක් විතර  එම්බියුලන්ස් එකේම දාගෙන අනතුරු සිදුවුණ තැනට ගියාම තමයි අනතුරේ බරපතල කමගැන දැනගත්තේ. මම බදුල්ල රෝහලේ අපේ අධ්‍යක්ෂවරයාට නැවත කථා කරලා කිව්වා වෛද්‍යවරුන් තවත් කණ්ඩායම් දෙකක් විතර එවන්න කියලා. ඒත් එක්කම තවත් වෛද්‍යවරුන් 15 – 20 විතර එව්වා. ”

බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ

පස්සර මාරාන්තික බස්රථ අනතුර සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ   සිය අද්දැකීම් ලංකාසරට සදහන් කළේ එසේය.

වෛද්‍ය පාලිත  අනතුර සිදුවූ ස්ථානය වෙත යන විට බස් රථය අඩි 100 – 150 අතර ප්‍රපාතයකට පෙරළී තිබුණ බව දක්නට ලැබුණි. බස් රථය පෙරළි තිබූ දර්ශනයෙන්ම ඔහුට සිතී ඇත්තේ එහි ගමන් ගත් කිසිවෙකුගේ පණ බේරෙන්නට නැති බවකි.  බස්රථ පස් කදු කඩාගෙන ගල් උඩට වැටී තිබුණේ රෝද උඩට සිටින සේය. වෛද්‍ය කණ්ඩායම එම ස්ථානය වෙත යන විටත් ගම්වාසීන් කඹ දෙකක්  පහළට දමා එම කඹයේ එකාපිට එකා එල්ලෙමින්  බස්රථයේ සිටි තුවාලකරුවන් හා මියගිය පුද්ගලයින් උඩට ගනිමින් සිටියේය. අතින් අතට මාරුකරමින් ඉහළට යැවූ තුවාල කරුවන් හා මියගිය පුද්ගලයින්ගේ  දේහයන් බදුල්ල මහ රෝහල වෙත යැවීමට කටයුතු යෙදිනි.


“මමයි වෛද්‍යවරුන් කීපදෙනෙකුයි  ප්‍රාපතයට බැස්සා. අපිට බහින්න බැහැ. අපි ඉලුක් පඳුරු අල්ලගෙන තමයි බැස්සේ. එතන පොඩි දිය පාරක් ගලනවා. ඒ දියපාර සම්පුර්ණයෙන්ම රතුපාට වෙලා තිබුණා . ඒක දැක්කාම මම හිතුවේ නැහැ පණ තියෙන කෙනෙක් ඉතිරිවෙලා අති කියලා. ඒත් වාසනාවකට පුද්ගලයින් 31 දෙනෙකුගේ ජීවිත බේරිලා තිබුණා. අපි ගම් වාසීන් එක්ක එකතුවෙලා තුවාල කරුවන්ව ඉක්මනින් රෝහල් ගත කරන්න කටයුතු කළා.. මේකේ පුදුම දේ තමයි  බස්රථයේ ගමන් කළ අවුරුදු පහක විතර පුංචි කෙල්ලක් පොඩි තුවාලයක් වත් නැතිව බේරිලා තිබුණා. ඒක නිකම් විශ්මයක්වගේ.”

තුවාල කරුවන්ව බේරා ගැනිමට පහළට බැස්ස ගම්වාසියෙකුට තම පාදය අහිමි වූයේ උඩ තිබු ගලක් පහලට පෙරළීම හේතුවෙනි.  මෙම මාරාන්තික බස්රථ අනතුරෙන් 12 දෙනෙකු මියගියේ අනතුර සිදුවූ ස්ථානයේදීමය. අසාධ්‍ය තත්තවයේ පසු වූ තවත් පුද්ගලයෙකු බදුල්ල රෝහලට ඇතුලු කිරීමෙන් පසුව මියගියේය‍‍. බදුල්ල රෝහලට වෙත ඇතුළත් කළ තුවාලකරුවන් 28 දෙනාවෙනුවෙන් බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළහ.

මෙම බස්රථ රියදුරා සුළු තුවාල ලබා ඇති බව කීවොත් ඔබ පුදුමයට පත්වෙනවා නොවනු මානය. බස්රථය පහළට පෙරළීමත් සමග රියදුරා බසයෙන් පැන ඇති අතර ඒ නිසාම ඔහු සුළු තුවාල ලබා ඇත. රියදුරා තුවාල කරුවන් පිටතට ගැනීමටත් පෙර ත්‍රී රෝදරථයක නැගී පස්සර රෝහල වෙත පැමිණ ඇත්තේ අනතුරෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීමටය.

බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කල පුද්ගලයින්  07 දෙනෙකුගේ  තත්ත්වය බරපතල බව වෛද්‍ය පාලිත රාජපක්ෂ   සඳහන් කළේය. මෙම තුවාල කරුවන් අතර වයස අවුරුදු 20 පමණ තරුණ ගැහැණු ළමයෙකුගේ ප්ලීහාව පුපුරා රුධිර වහනයක් වී  ඇති බැවින් ඇය සැත්කමකට ඇය ලක් කෙරිනි. තවත් තරුණියකගේ උකුල් ඇටය සම්පූර්ණයෙන් බිදී ඇති බවත් ඇයද සැත්කමකට ලක් කරමින් පවතින බව අප මෙම ලිපිය ලියන අවස්ථාවේදී වාර්තා විය‍.

අත්පා කැඩී බරපතල තුවාල ලැබූ තුවාලකරුවන්ට වෛද්‍යවරුන්  ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව ප්‍රතිකාර කරන අයුරු නිරන්තරයෙන්ම වාර්තා වෙමින් ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය පාලිත රාජපක්ෂ   සඳහන් කළේ තමාගේ වෛද්‍ය ජීවිත තුළ මෙවන් බරපතල අනතුරක් සිදුවූ ස්ථානය වෙත ඉතා අසීරුවෙන් ගමන් කර රෝගීන්ගේ ජිවිත බේරාගැනීමට කටයුතු කළ පළමු අවස්ථාව  මෙය බවත් මෙය ඉතා දුෂ්කර  කටයුත්තක් වූ බවත්ය. 

 

Exit mobile version