ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිගේ කොන්ත්‍රාත්තුවෙන් මරා දැමූ  අඹන්පොල ග්‍රාම සේවක ගේ කතාව

දුම්රිය ස්ථානාධිපතිට අවුරුදු 28යි... ගහපු ගැට ඔක්කොම ඉවරයි...  

එස්. එම්. කේ. පී. සපුකුමාර

රාජ්‍ය සේවකයෙකුට තම රාජකාරිය නිදහසේ ඉටු කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙමින් තිබේ. පසුගිය හතරවෙනිද අඹන්පොල දී රාජ්‍ය සේවකයෙකු මහමග මරා දමා තිබිණි.

පසුගිය 4 වැනිදා උදෑසන 8. 50ට පමණ මහමගදී අඹන්පොල දකුණ වසම භාර ග්‍රාම නිලධාරීවරයා වූ එස්. එම්. කේ. පී. සපුකුමාර මරා දමන්නේ සියලු දෙනාම බලා සිටියදීය. ඇසිපිය ගහන වේගයට සිදු වූ මේ මිනීමැරුම පිළිබඳ ප්‍රදේශවාසීහු වික්ෂිප්ත වී සිටිති. අඹන්පොල රොලව පිහිටි තම නිවසේ සිට පෙරවරු 8. 40ට පමණ ග්‍රාම නිලධාරිවරයා පිටත් වී තිබුණේ එදින පැවැත්වෙන ජන සභාවට සහභාගි වීමටය.   නමුත් අඹන්පොල උඩංගාව  ප්‍රදේශයට පැමිණෙනවාත් සමගම කහබිලියාවැටිය වත්ත ඉදිරියේ දී ඔහු පසුපස ආ ඝාතකයෝ තිදෙනෙක් ඔහුව කපා කොටා මරා දැමූහ.

ඒ මොහොතේම ග්‍රාම නිලධාරියා රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. එහෙත් රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව අඹන්පොල රෝහල සනාථ කළේය.


ඝාතනය සිදුවූ ස්ථානය

පොලිස් පරීක්ෂණ

මේ සිදුවීම සැලවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ  අඹන්පොළ පොලිසිය ඝාතකයන් සොයා මෙහෙයුම් දියත් කළේය. අපරාධ ස්ථානයට පැමිණි අඹන්පොළ පොලිසිය විසින් ග්‍රාම  නිලධාරීවරයාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමේදී  එයට පිළිතුරු දී තිබුණේ කාසිකොටේ  ප්‍රදේශයේ අලි වැට සකස් කරමින් සිටි පුද්ගලයෙකි. එම දුරකථනය පාර අසල වැටී තිබූ බවත්  එය නාද වූ පසු එම  ඇමතුමට පිළිතුරු දුන් බවත් එම පුද්ගලයා විසින් පවසා තිබුණි. එයින් පැහැදිලි වූයේ ඝාතකයන් විසින් එය කාසිකොටේ ප්‍රදේශයේ දී විසිකර ගොස් තිබූ බවය. එයිනුත් සුළු  වේලාවකට පසු ඝාතකයන් ඝාතන සඳහා පැමිණි වෑන් රථය ගල්ගමුව පාළුකඩවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී සොයා ගැනිණි .

එම වාහනයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී එය මහව ප්‍රදේශයේ කුලියට වාහන ලබා දෙන ස්ථානයක වෑන් රථයක්  බවත්, එදින උදේ එය කුලියට ලබාගෙන තිබුණේ ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති වරයා විසින් බවත් හෙළි කර ගන්නා ලදී. මේ දුම්රිය ස්ථානාධිපතිවරයා  28 හැවිරිදි කේ. කේ . චානක නිලාන් කුමාරය. මුලින්ම අඹන්පොළ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය .

අඹන්පොළ පොලිසිය පවසන අන්දමට ඝාතන සැලැස්ම සිදුව තිබුණේ මෙසේය .

දුම්රිය ස්ථානාධිපති චානක නිලාන් කුමාරය පදිංචිව සිටියේ ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේය. නමුත් ඔහුගේ   බිරියගේ පවුලට අයත් ඉඩමක ආරවුලක් විසඳීම භාරව තිබුණේ එහි ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කළ එස්. එම්. කේ. පී. සපුකුමාරය.

ග්‍රාම නිලධාරිවරයා විසින් එම ඉඩම් ආරවුල විසඳා තිබුණේ නීතියට අනුවය. එහෙත් මේ දුම්රිය ස්ථානාධිපතිවරයාගේ බිරියගේ පාර්ශවය හිමිකම් කියන මේ ඉඩමේ බලහත්කාරයෙන් පදිංචි වී සිටි පවුල සමග සමීප හිවත්කමක් ගොඩනගාගෙන සිටි ග්‍රාමසේවකවරයා ඔවුන්ට වාසිදායක වන සේ එම ඉඩම් ප්‍රශ්නය තීන්දු කළේ යැයි පොලිසියට ද යම් යම් අය තොරතුරු ලබා දී තිබිණි.

මේ තීන්දුව නිසා කුපිත වූ  ස්ථානාධිපති චානක ග්‍රාම නිලධාරීවරයාට පාඩමක් ඉගැන්වීමට  හිතා ගත්තේය.

හික්කඩුවේ කණ්ඩායම

ගල්ගමුවේ පදිංචි  සංජීව නොහොත් සඳුන් නැමැත්තාට කීවේ මෝලා කියාය. මෝලා  දුම්රිය ස්ථානාධිපති චානක  හා හිතවත් අයෙකි. ඔහු හික්කඩුව ප්‍රදේශයේ අයෙකු වූ අතර   විවාහ වී සිටියේ ගල්ගමුව ප්‍රදේශයෙනි.

මෝලා වෙනත් විදිහේ මානසික තත්වයක සිටි අයෙකි. ඔහුත් ඔහුගේ කණ්ඩායමත් කාන්තාවන්ට හිංසා කරන හෝ අනියම් සම්බන්ධකම් පවත්වන පුද්ගලයින්ට නීතිය අතට ගෙන දඬුවම් කිරීමෙන් අමුතු ආශ්වාදයක් ලබන පුද්ගලයෙකි.

මෝලාව හමුවන දුම්රිය ස්ථානාධිපතිවරයා කියන්නේ අමුතු කතාවකි. ඔහු ඉඩම් ආරවුලක් ගැන මෝලා සමග කියන්නේ නැත. ඔහු කියන්නේ තමන්ගේ සහෝදරිය හා අඹන්පොල ග්‍රාම නිලධාරීවරයා අතර පවතින අනියම් සම්බන්ධයක් ගැනය. ඒ සම්බන්ධය නිසා තමන් බරපතල අවුලක සිටින බවත් මේ තැනැත්තාගෙන් සහෝදරයිට ගැලවීමක් නැති බවත්  මේ තැනැත්තාට මතක හිටින පාඩමක් උගන්වන ලෙසත්ය. මෝලා වැඩේ බාරගත්තේය. වැඩේ සඳහා ලක්ෂ එක හමාරකට කොන්ත්‍රාත්තුව කතා විය.

වැඩේ පටන් ගැනීමට පෙර රුපියල් හැත්තෑදාහක මුදලක්  අත්තිකාරමක් ලෙසත් මෝලාට ලැබෙන්නේය.

කොන්ත්‍රාත්තුව බාරගත් මෝලා කෙලින්ම යන්නේ හික්කඩුවටය.  එහි ගොස් සිය   හිතවතුන් තිදෙනෙක් ද සමග  පසුගිය තුන්වැනිදා හික්කඩුවෙන් පිටත් වී  අඹන්පොල ට පැමිණ   තිබුණේ රතුපැහැති ඇල්ටෝ කාර් එකකය.

රාත්‍රී සාදය

කණ්ඩායම වෙනුවෙන් එදින රාත්‍රියේ විශේෂ සාදයක් දළදාගම අසල අයිස්බර්ග් අවන්හලේ  සංවිධානය කර තිබිණි.  ඒ ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති චානක විසිනි. කණ්ඩායමට නවාතැන් ගැනීමට සකස් කර තිබුණේ මහගල්කඩවල තුරුවදුල හෝටලයේය.  සාදය අතර දුම්රිය ස්ථානාධිපතිවරයා ඉලක්ක ග්‍රාමසේවකගේ නිවස පෙන්වීම සඳහා මැර කණ්ඩායම සමග ගොස් ආවේය.

තමන් හික්කඩුවේ සිට පැමිණි මෝටර් රථය ග්‍රාමසේවකට ප්‍රහාරයක් එල්ල කිරීමට භාවිත කිරීමට මොලා ප්‍රතික්ෂේප කළේය.  ඒ අනුව වැඩේට වාහනයක් හොයා ගන්නට දුම්රිය ස්ථානාධිපතිවරයාට සිදුවිය. ඔහු සිය බිරියට බෙහෙත් ගැනීමට රැගෙන යෑම අවශ්‍ය බව කියා  වෑන් රථයක් කුලියට ගෙන කණ්ඩායමට ලබා දුන්නේය. ඒ සමග කඩු සහ පිහි ඇතුළු ආයුද ද මැර කණ්ඩායමට සැපයුවේය.

කුලියට රැගෙන දුන් වෑන් රථයෙන් පැමිණි කණ්ඩායමේ තිදෙනෙක් සිටියේය. මෝලා සහ දුම්රිය ස්ථානාධිපතිවරයා    හික්කඩුවේ සිට පැමිණි ඇල්ටෝ රථයෙන් පැමිණ අඹන්පොල කැත්තපහුව ප්‍රදේශයේ රැඳී සිටිමින් ග්‍රාමසේවක එනතුරු කල් මැන්නේය.

ග්‍රාමසේවක නිවසින් පිටත්වන බවට ඔවුන් දුන් තොරතුර අනුව ඔහු   උඩංගාව  කහඹිලියා වැටිය වත්ත දෙසට පැමිණෙනවා ත් සමගම අපරාධකරුවො සිය ගොදුර ඩැහැ ගත්හ.

ඒ කාලකණ්ණි අවස්ථාව සී.සී.ටී.වී දර්ශනයක සටහන්ව තිබුණේ මෙසේය.

ඝාතනයෙන් පසු…

ග්‍රාමනිලධාරීවරයා ඝාතනයෙන් පසු පිරිස කෙළින්ම ගියේ මෝලාගේ නිවසටය. ඔවුහු ලේ වැකි ඇඳුම් ඉවත් කර නාගෙන දුම්රිය ස්ථානාධිපතිවරයා දකින්නට ගියේය. ඔහු ඒ වනවිටත් තුරුසෙන හෝටලයේ මත් පැන් පානය කරමින් සිටියේය. පිරිස හෝටලයට ගොස් සිය ඇඳුම් පැලඳුම් ද රැගෙන හික්කඩුව බලා පිටත් වූයේ ස්ථානාධිපතිවරයාගේ මත් පැන් බෝතලයෙන් ද කොටසක් පානය කරමිනි.

වාහනයේ බිල 18500කි. නවාතැන් හා සාදයේ බිල රුපියල් විසි දහසකි. ඒ බිලත් ගෙවා දමා දුම්රිය ස්ථානාධිපතිවරයා පොලිසියට යන්නට හැදුවේ උදෑසන තමන්ට පහර දී තමන් ගමන් කරමින් සිටි වෑන් රථය පිරිසක් කොල්ල කෑ බවට පොලිස් පැමිනිල්ලක් දමන්නටය. එහෙත් පොලිසිය ඉස්සර වුනේය. හිතාගන්න බැරි ඉක්මනින් පොලිසිය දුම්රිය ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගත්තේය.

අඹන්පොල පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා

සිද්ධිය එකින් එක හෙළිදරවු වන්නේ ඉන් අනතුරුවය. හික්කඩුවේ සිට පැමිණි අපරාධකරුවන් දෙදෙනෙක් හා ඇල්ටෝ රථය අත්අඩංගුවට පත් වන්නේය.  ඉඩම් ආරවුල් සඟවා මෝලාට දුන් කොන්ත්‍රාත්තුව හෙළි වන්නේය. ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායමේ සිටි ටෙක්සි ඩෙනිස් නැමැත්තෙක් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වන්නේය. ග්‍රාමසේවකගේ දෑත් කපා නොමරා මරන්නට යද්දී එල්ල කළ පහරක් ගෙලට වැදීම නිසා ඔහු මිය ගිය ආකාරය ගැන හෙළි වන්නේය. මේ වනවිටත් මොලාත් ඔහුගේ සොයුරු අකිලත් ආගිය අතක් නැත. අඹන්පොල පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් අඹන්පොල ගල්ගමුව පොලිස් ස්ථාන හා නිකවැරටිය පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකක නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවමින් ඇත.

අත්අඩංගුවට ගත්  දුම්රිය ස්ථානාධිපති වරයා   මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී ඇත.

මේ මහා කම්පනය මැද ග්‍රාමසේවක කුමාරගේ බිරිය අපට එදා සිද්ධිය කීවාය.   අයි.එම්. කාන්ති විජේකුමාරි වූ ඇය සේවය කරන්නේ මහව අධ්‍යාපන කලාප කාර්යාලයේ ය.

“එදා උදේ මහත්තයා ජන සභාවට යන්න ලෑස්ති වෙලා ඉද්දි තවත් ගොවි මහත්තයෙක් ආවා අපේ ගෙදරට. ඒ ඇවිත් හිටියෙ වගාවක් සම්බන්ධයෙන් අපෙ මහත්තයගෙන් උපදෙස් අරගන්න. ඒ අතර මහත්තයාගේ දුරකථනයට දුරකතනයට ඇමතුමක් ආවා. ඒකට උත්තර දුන්නේ මම. මහත්තයා දැන්ම එන්නෙ නැද්ද කියලා ඇහුවා. මම කිව්වා මේ දැන් පිටත් වෙන්නයි ලෑස්ති කියල. ඒත් එයා ගෙදරින් පිටත් වෙලා ගිහින් සුළු මොහොතකින් ලැබුණු ආරංචිය මට  අදහා ගන්න බැරුව ගියා. මහත්තයා නීතියට පිටින් කවදාවත් වැඩ කරලා නැහැ. එහෙම වැඩ කරන රාජ්‍ය නිලධාරියෙකු ට අත් වෙන ඉරණම මේකද දෙයියනේ. “

“ එයා කවදාවත් රැකියාවෙන් ලැබෙන වැටුප දිහා බලන් හිටියෙ මනුස්සයෙක් නෙමෙයි . අපි ගෙදරට පිටින් ගේන්නේ ලුණු විතරයි. අපේ මුළු ගෙවත්ත ම වස විසෙන් තොර ආහාර වගා කරපු උයනක්. එයා අපි දරුවන්ට කවදාවත් වස විස කන්න දුන්නේ නැහැ . එයා ළඟ ලොකු ව්‍යාපෘති සැලැස්මක් තිබුණා මුළු රටේම දරුවන්ට වස විසෙන් තොර ආහාර ලබා දෙන්න.  ඒ  ඔක්කොම ඉවරයි.“ ඇයට හඬා වැටෙන්නට ඉඩ දී ආයාසයෙන් මුනිවත රැක්කෙමි.

මියගිය ග්‍රාම නිලධාරි වරයාට 14 හැවිරිදි සහ 18 හැවිරිදි දියණියන් දෙදෙනෙකි. දියණියන් දෙදෙනා සිදුවූ කිසිවක් ගැන සිතා ගැනීමට නොහැකිව වේදනාවෙන් තුෂ්නිම්භූතව බලා සිටිති .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද හවස් යාමයේ මීට ස්වල්ප වෙලාවකට පෙර මුළු ප්‍රදේශයම හඬවමින් ඔහුගේ දේහය මිහිදන් කෙරුණි .

Exit mobile version