උයන්පල්ලෙක් ගලවා දුන් හදතක් බද්ධ කළ ලොව පළමු හදවත් සැත්කම

වර්නන් ගුණසේකර –

කේක් ගෙඩියක් මිලදී ගැනීම සඳහා ගමන් කරමින් සිටි විසි හය හැවිරිදි ඩෙනීස් ඩාවල් 1967 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී මෝටර් රථයක ගැටී හිසට බරපතල තුවාල ලැබීමත් සමග දියත් වූයේ ලොව වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසගත වූ ශල්‍යකර්මයකි. රෝහලට පිවිසෙන විට ඇයගේ මොළය මරණයට පත්ව තිබුණද හදවත නීරෝගීව ස්පන්දනය වෙමින් තිබිණි. ඩෙනීස්ගේ සිරුර තැබුනේ   හැමිල්ටන් නකි ගේ දෑත් මත ය. විශේෂඥ කෘතහස්ත භාවයකින් යුතුව ඇයගේ හෘදය ඉවත් කළ නකි ඉක්බිති එය ක්‍රිස්ටිආන් බානාඩ් ට ලබා දුන්නේය. ඉන්පසු හෘද ශල්‍ය වෛද්‍ය බානාඩ් ඒ හදවත 57 හැවිරිදි ලුවී වොෂ්කන්ස්කි ට බද්ධ කළේය.

Dennis-Darvell
ඩෙනීස් ඩාවල්

නකි කළු ජාතිකයෙකු නිසාත් රෝගියා සුදු ජාතිකයෙකු වූ නිසාත් නකි ගේ දායකත්වය වර්ණ භේදවාදී නීති යටතේ සාපරාධී ක්‍රියාවක් විය. ඔහුට සුදු ජාතිකයන් සඳහා පමණක් වූ සැත්කම් ශාලාවට ඇතුළු වීමට ඉඩ දීම සහ සුදු ජාතික රෝගියෙකු අතගෑමට ඉඩ දීම සම්බන්ධයෙන් බානාඩ් ට ද නඩු පැවරීමට ඉඩ තිබිණි. ඊටත්, නකි මෙවැනි ක්‍රියාවකට සුදුසුකම් ලබා නොසිටීම තත්ත්වය තවත් බරපතළ කරවීය. 

හැමිල්ටන් නකි කේප්ටවුන් විශ්ව විද්‍යාලයට සහ ක්‍රොට ස්කීර් රෝහලට එක්ව සිටියේ උයන්පල්ලෙකු ලෙසිනි. එක්දහස් නවසිය පණස් ගණන්වලදී ජිරාෆ් සතෙකුට සැත්කමක් කරමින් සිටි එම සරසවියේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයෙකු වූ රොබට් ගර්ට්ස්, ශල්‍යකර්මයට බඳුන්ව සිටි ජිරාෆ් තදින් අල්ලා ගෙන සිටීම සඳහා රසායනාගාරයට පැමිණෙන ලෙසට නකිගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු සිටියේ සරසවියේ ටෙනිස් පිට්ටනියේ තණකොල සමතලා කරමිනි. යමක් පානය කිරීම පිණිස ජිරාෆ් සතුන් උන්ගේ හිස පහතට හෙළන විට උන් ක්ලාන්ත නොවන්නේ මන්දැයි සොයා ගැනීමට ගර්ට්ස් උත්සාහ කරමින් සිටියේය. නකි පිළිබඳව ගර්ට්ස් කොතරම් පැහැදුනාද කිවතොත් තම රසායනාගාරයේ සේවයට පැමිණෙන ලෙසට ඔහු නකි ට ආරාධනය කර සිටියේය.


හැමිල්ටන් නකී

සිරුරට දියර දීමට හෝ ඉවත් කිරීමට යොදා ගන්නා කැතීටරය නමැති නළය ඇතුළු කිරීම සහ තුවාල මැසීමේ සිට ශ්වාසනාලයට බටයක් ඇතුළු කිරීම හා  නිර්වින්දනය දක්වා වන ශල්‍යකර්ම ක්‍රියා පිළිවෙලේ පුළුල් පරාසයක ඉක්මනින් ම දක්ෂයෙකු වීමට නකි ට හැකි විය. සැත්කමකට ලක්වන සතුන් එම සැත්කමෙන් පසුව රැකබලා ගැනීමේ කාර්යය ඔහු බාර ගත්තේය. වැඩි කල් යන්නට මත්තෙන්, ඌරෙකුට අක්මාවක් බද්ධ කිරීම තනි අතින් සිදු කිරීමට  නකි සමත් විය. ශල්‍ය වෛද්‍යවරුන්ට කළ හැකි එහෙත් නකි ට කළ නොහැකි දෙයක් තිබුණේ ම නැති තරම් ය. තමාගේ වැදගත් ම ගුරුවරයා ලෙස නකිගේ පැසසුමට ලක්ව සිටියේ නාසි ජර්මනියෙන් ගැළවී පැමිණි ගර්ට්ස් ය.

ගර්ට්ස් අමෙරිකාවට ගිය විට ක්‍රිස්ටිආන් බානාඩ් එම රෝහලට පැමිණියේය. නකිගේ කුසලතා හඳුනා ගත් බානාඩ් පළමුව තම නිර්වින්දක වෛද්‍යවරයා ලෙසත්, පසුව තමාගේ ප්‍රධාන ශල්‍ය සහායකයා ලෙසත් නකි යොදා ගත්තේය. 

ක්‍රිස්ටිආන් බානාඩ්

එක්දහස් නවසිය පණස් ගණන්වලදී බානාඩ් විවෘත හදවත් ශල්‍යකර්ම තාක්ෂණය අත්හදා බැලීමේ යෙදී සිටියදී නකි ඔහු සමග වැඩ කළේය. පුදුම සහගත බුද්ධියක් සහ ප්‍රබල මතකයක් තිබුණු නකි අනෙක් අය දෙස බලා සිටිමින් ඉගෙන ගත්තේය. බානාඩ්ගේ අතේ ආතරයිටිස් රෝගය හටගත් විට නකිගේ දායකත්වයේ වැදගත්කම තවතවත් වැඩි විය.

තාක්ෂණික ශිල්පියා ලෙසටත්, ඉන්පසුව ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ශිල්පියා ලෙසටත් නකි උසස් කරවනු ලැබූ අතර එකළ දකුණු අප්‍රිකාවේ තිබූ වර්ණ භේද නීතිවලට අනුව මෙය විශ්ව විද්‍යාලයක් විසින් නකි ට ලබා දිය හැකි උපරිම උසස් වීම විය. බානාඩ් 2001 වසරේ මිය යාමට ටික කලකට පෙර පැවැති  සම්මුඛ සාකච්ඡාවකදී ඔහු නකි පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය. “හදවත බද්ධ කිරීමේ ක්ෂේත්‍රයේ හැමිල්ටන් නකි යනු සදාකාලික ශ්‍රේෂ්ඨ පර්යේෂකයෙකි. විශේෂයෙන්, විවෘත කෙරුණු ශරීරයක් මැසීමේදී ඔහු මට වඩා දක්ෂ ශිල්පියෙකි.“

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිස්ටිආන් බානාඩ් ශල්‍යකර්මයට ලක් කළ ලුවී වොෂ්කන්ස්කි සමග

ලොව ප්‍රථම හදවත බද්ධ කිරීම සිදුකළ වෛද්‍යවරයා දැක ගැනීමට අමුත්තන් පැමිණෙද්දී ඔහුගේ සෙවණැල්ලට මුවා වී සිටි හැමිල්ටන් නකි නමැති මේ ප්‍රශස්ති නොගැයුනු වීරයා, රෝහලේ සිටින උයන්පල්ලා සහ පිරිසිදු කරන්නා ලෙසින් තමන් පිළිබඳව හඳුන්වා දීමට තරම් නිහතමානී විය. වර්ණ භේදයට තදින් ම විරුද්ධ වූ බානාඩ්, ආරක්ෂිතව කතා කළ හැකි සෑම අවස්ථාවකදී ම නකි ට ඔහුගේ ප්‍රශංසාව පුදකර සිටියා පමණක් නොව සිය නිවෙසට කැඳවා නකි ට සංග්‍රහ කිරීමටද අමතක නොකළේය. උසස් ලෙස පෙනී සිටීමට කැමති, මාධ්‍ය ප්‍රචාරයේ කුසගින්නෙන් පෙලුණු බානාඩ්ගේ ඇසුරේ නකි යනු සන්සුන් මිනිසෙකු විය.

බානාඩ් යටතේ අධ්‍යාපනය ලැබීම සඳහා කේප් ටවුන් විශ්ව විද්‍යාලයට රංචු පිටින් පැමිණි ආධුනික හෘද ශල්‍ය වෛද්‍යවරුන් සිය ගණනක් පුහුණු කිරීමෙහි ලා නකි ට තිබුනේ ලොකු කාර්යභාරයකි. ගුරුවරයෙකු ලෙසින් තම කාර්යය ආදරයෙන් වැළඳ ගත් ඔහු ශල්‍ය වෛද්‍යවරුන් තුන් දහසකට ඉගැන්වීය.

හැමිල්ටන් නකී

ට්‍රාන්ස්කේ හි සෙන්ටානි නගරය අසල නැගන් නමැති ගම්මානයේ දුප්පත් පවුලකට දාව උපන් හැමිල්ටන් නකි අධ්‍යාපනය ලැබුවේ හය වැනි ශ්‍රේණිය දක්වා පමණි. වයස අවුරුදු 14දී පාසලෙන් ඉවත් වූ ඔහු සෙන්ටානි හි රැකියාවක් නැති තැන මහමගට පිවිස වාහනවල නොමිලයේ යමින් කේප් ටවුන් පැමිණියේය. සිය ජීවිතයේ ඉතිරි කාලය එහි ගතකළ ඔහු තමන් ඉපයූ මුදලින් වැඩි ප්‍රමාණයක් 11 දෙනෙකු දක්වා වැඩි වී තිබූ සෙන්ටානි හි තම පවුල ජීවත් කරවීම සඳහා යැවීය.

ඔහු ජීවත් වූයේ කේප් පෙදෙසේ ලැංගා නමැති කළු ජාතිකයන්ගේ නගර ප්‍රදේශයේ සංක්‍රමනික කම්කරුවන් සඳහා වූ නිවාස පේළියක කුඩා කාමරයකය. විදුලිය හෝ ජලය ඔහුට නොතිබිණි. සෑම උදෑසනකම ඔහු වක් වූ ගැට්ටක් ඇති තොප්පියක්, ඇඳුම් කට්ටලයක් හා ටයි පටියක් සහ ඔප දැමූ පාවහන් පැළඳ රැකියාවට ගියේය. ඔහුගේ පවුල ඔහු ඉපදුනු ගමේ නතර වූ අතර ඔහු තම වැටුපෙන් ද, පසුව එංගලන්ත ස්ටර්ලිං පවුම් 70කට සමාන වූ සිය විශ්‍රාම වැටුපෙන්ද ඔවුන්ට ආධාර කළේය. තම අඩිපාරේ යාම සඳහා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ප්‍රමාණවත් මුදලක් ඔහුට නොතිබිණි. 

කුඩයක්, පුවත්පතක් සහ බයිබලයක් රැගෙන සෑම දිනයෙකම උදෑසන 6.00 ට සිය රසායනාගාරයට පිවිසෙන නකි පස්වරු 4.30 වන තෙක් එහි සේවය කළේය. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණව සිටින පුද්ගලයන්ට වෛද්‍ය විදුහල පිටුපස පිහිටි සුසාන භූමියේ සිට බයිබලය කියවමින් තමාගේ දිවා ආහාර විවේකය ගත කළ නකි, මත්පැන් සහ කංසා භාවිතයෙන් සිදුවිය හැකි විපත් පිළිබඳව ඔවුන්ට කියා දුන්නේය.

විශ්‍රාම යෑමෙන් පසුව ඔහු, සෙන්ටානි නමැති සිය උපන් ගම වෙත ජංගම රෝහලක් යාමට මං විවර කිරීම සඳහා මුදල් රැස් කළේය. සෙන්ටානි ගම ට සමීපතම වෛද්‍යවරයා සිටියේ හෝ රෝහලක් තිබුනේ සැතපුම් 50ක් ඈතිනි. නැගෙනහිර කේප් පලාතේ ගම්බද පාසලක් පවත්වා ගෙන යාම සඳහා මුදල් රැස් කිරීම පිණිස ඔහු සෑම වසරකම, තමන්ගෙන් ඉගෙනුම ලැබූ ශල්‍ය වෛද්‍යවරුන් හමුවීමට ගියේය. 

ජීවිතයේ පසු කලෙකදී නකි ට, ඔහුට හිමි හා සුදුසු පිළිගැනීම ලැබුණු අතර ඔහු දැන් දකුණු අප්‍රිකාවේ වීරයෙකි. කේප් ටවුන් සරසවිය 2002 වසරේදී ඔහුට ශල්‍යකර්ම ගෞරව උපාධියක් පිරිනැමුවේය. 2003දී ජනාධිපති තබෝ එම්බෙකි ඔහුට ‘මපංගුබ්වේ‘ නමැති දකුණු අප්‍රිකාවේ වඩාත් ම ගෞරවනීය සම්මානය ප්‍රදානය කළේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැමිල්ටන් නකි නමැති දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි ක්‍රොට ස්කීර් රෝහලේ උයන්පල්ලා, සත්ව ශිල්පියා, ශල්‍ය වෛද්‍යවරයා සහ ශල්‍යකර්ම ගුරුවරයා 2005 මැයි 29 වැනි දින හෘදයාබාධයකින් මිය ගියේය.

 

 

Exit mobile version