උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

මාරක රිය අනතුරකින් මියගිය  උප පොලිස් පරික්ෂක    රංජිත්ගේ බිරිය කියන කතාව

ලලිත් චාමින්ද –

“දුව කැම්පස් එක්ක යන්න එනවා කියලා තමයි මහත්තයා ගෙදරින් ගියේ.  උදෑසනින් නැගිටලා කෑම   උයන්න කියලා කිවා. උදේ පාන්දර මට දුරකථන ඇමතුමක් ආවා. මම හිතුවේ මහත්තයා මාව අවදිකරන්න කථා කරණවා කියා“ 

මාරක රිය අනතුරකින් මියගිය  උප පොලිස් පරික්ෂක    රංජිත් ප්‍රියංකර පිල්ලගේ (55) බිරියවන  අතුලහේවගේ මානෙල් ඉන්ද්‍රාණි  හැඩුකදුළින් යුතුව එසේ කිවාය.

වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ දි රථවාහන රාජකාරියේ යෙදි සිටියදි අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් යටකරගෙන යාමෙන්  මෙම උප පොලිස් පරික්ෂකවරයා හා තවත් අයෙකු මිය ගියහ.


මෙම අනතුරෙන් මියගිය උප පොලිස් පරික්ෂකවරයා  අක්මිමන බදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහුගේ හදිසි වියෝවය දරාගත නොහැකිව බිරිය   හා  එකම දියණිය දැඩි කම්පනයට පත්ව සිටිති. මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ දේහය  ඊයේ (23) රාත්‍රි නිවසට රැගෙන විත් තිබුණි. තම සැමියාගේ හදිසි වියෝවය දරාගත නොහැකිව ඇය හැඩුකදුළුන් යුතුව මෙසේද කිවාය.

“මහත්තයා කොටුව පොලීසියේ හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව රාජකාරි කළා. ඔහු රාජකාරිය  අකුරටම ඉටුකළ නිලධාරියෙක්. මහත්තයා කොම්පඤ්ඤ විදියේ පොලිස් නිවාසවල තමයි  නතරවෙලා හිටියේ.“ 

“පසුගිය 22 වැනිදින රාත්‍රි ඔහු සේවයට වාර්තා කරලා තියෙනවා. මට කථා කරලා කිවා දුව කැම්පස් එක්ක යන්න ගෙදර එනවා කියලා. උදෙන්ම  අවදිවෙලා කෑම උයලා තියන්නත් කිවා. දියණිය ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබනවා. මහත්තයා නිතරම  දියණිය හා මා ගැන සොයා බැලුවා.  

ඊයේ (23) උදේ පාන්දරම මට දුරකථන ඇමතුමක් ලැබුණා. මම හිතුවේ මහත්තයා  මාව අවදිකරන්න කථා කරනවා  කියලා. නමුත් අහන්න ලැබුණේ වෙන ආරංචියක්. අනේ මගේ මහත්තයාට මොකද වුනේ. ඇය එසේ කියමින් හඩා වැළපෙන්නිය. ඇයගේ දෑස්වලින් කදුළුකැට රූරා වැටෙන්නේය.  නිවසේ සාලයේ තැන්පත්කොට ඇති සිය සැමියාගේ මෘත දේහය  දෙස බලාගෙන වැලහින්නියක් ලෙස හඩා වැලපෙන්නිය.  උප පොලිස් පරික්ෂකවරයාගේ එකම දියණියටද  තම පියාගේ වියේවය දරාගත නොහැකිය.

මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ නැගණිය වන පිල්ලගේ චන්ද්‍රිකා   අප සමග මෙසේ කිවාය.

“අයියා මානවිල උපනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. සාමාන්‍ය පෙල සමත්විමෙන් පසු  විද්‍යාලෝක පිරිවෙනේ උසස් අධ්‍යාපන හැදුරුවා. පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස තමයි මුලින්ම පොලිසියට බැදුණේ.  අයියා පොලිස් සේවයට එක්වෙලා වසර 30කටත් වැඩියි. ඔහු කොළඹ, වවුනියාව, ත්‍රිකුණාමලය,  යන ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන රැසක රාජකාරි කළා.   අයියාගේ  උපන්දිනය යෙදිලා තිබුණේ  ජූනි මස 15 වැනිදා.  අයියා  අලුතෙන් නිවසක් ඉදිකරලා ඒ නිවසේ වැඩ ඉවර වෙලා තිබුණේ. අයියාගේ උපන්දිනයට  දානයක් දිලා නිවසේ පදිංචිවෙන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත් අයියාට අලුත් නිවසේ පදිංචි වෙන්න බැරිවුනා. අයියාගේ මෘත දේහය තමයි නිවසට ගෙන්න සිදුවුනේ.“ ඇය කදුළු වගුරුවමින් කිවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ එකම දියණිය වන පි.ආර්.දේශාණි. (24) විශ්ව විද්‍යාල සිසුවියකි. උප පොලිස් පරික්ෂකවරයාගේ අවසන් කටයුතු  අද (25) පොලිස් ගෞරව මැද පවුලේ සුසාන භුමියේ දි සිදුකිරිමට නියමිතව ඇත.

 

Exit mobile version