අලි ගහන කැලෑව මැද හරි පුදුම ඉස්කෝලෙ හැදූ ලොකු ඉස්කෝලෙ මහත්තයා…

ගස් නගින්න බැරිනම් මෙලහට මම අලි ගහලා මැරිලා... ඒරියාව කණිටු විදුහල හදපු විදුහල්පති ආර්. එම්. තිලකරත්න

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ අඹන්පොලින් දකුණ ට හැරී ඇහැටුවැව පාරේ සැතපුම් 5ක් පමණ ගිය තැන එරියාව කනිටු විදුහල ට හැරෙන හන්දිය හමුවේ. එතැන් සිට ඒරියාව ඉස්කෝලයට යන්නට ඝන කැලෑවෙන් යුත් මාර්ගයේ සැතපුම් භාගයක් පමණ යා යුතුය.

1941 වසරේ ඇරඹි මෙම විදුහල 2000 වර්ෂයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නේ පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම හා ගුරු හිඟය හේතුවෙනි. නමුත් 2008 වසරේ ජූලි මස 15 දින මේ විදුහල ට වාසනාව රැගෙන එන විදුහල්පතිවරයා වූයේ  ආර්. එම්. තිලකරත්නය.

පාසලක් නිර්මාණය කිරීම යනු ලෝකයක් හැදීම වැනි වැඩකි. ඔහු ඒ වැඩේ කළේය. ඒ වැඩේ කර ලංකාවේ අංක එකේ ඉස්කෝලයක තැනට ඒරියාව ගෙනාවේය. ඒරියාව කණිෂ්ට විද්‍යාලය ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. අවුරුදු ගණක් ශිෂ්‍යත්ව විභාගයෙන්  ලංකාවේ හොඳම ප්‍රතිඵල ගෙනාවේ මේ පාසලය.


ඒ විදුහල්පති තුමා දැන් සිය ගුරු දිවියට විශ්‍රාම දෙන්න සූදානමිනි.  ඒ උතුම් මිනිසා ගැන සටහනක් තබන්නට  නිමිති සපයන්නේ එයය. අපි ඔහු සමග සංවාදයට එක් වුනෙමු.

“ මම 2008 මේ පාසලේ වැඩ බාර ගත්තෙ වැඩ බලන විදුහල්පතිවරයෙක් විදිහට . නමුත් මම 2012 වසරේ විදුහල්පති විභාගය සමත් වෙලා ඒ පත්වීම ස්ථිර කර ගත්තා.   පළවෙනි ශ්‍රේණියේ විදුහල්පති වරයෙක් වුණා.  මම මෙහෙට එද්දී සිසුන් 10 යි මුලු පාසලටම හිටියේ. නමුත් මම මගේ ක්‍රමය ඇතුළෙ වැඩ කළා.    වසරින් වසර සිසුන් වැඩි වෙන්න පටන් ගත්තා. මං පාසලට එද්දි එද්දි හිටපු සිසුන් 10න් 2ක් ශිෂ්‍යත්ව සමත් වුනා 2010දි.  මුල්ම පිබිදීම ඇති වුනේ එහෙම . ඊට පස්සෙ තමයි 2016 වර්ෂයේ අපිට සුවිශේෂී ජයග්‍රහණය ක් හිමිවුනේ.”….යැයි ඔහු පැවසුවේ  නිහතමානී සිනහවකින් මුව සරසා ගෙනය.

“මං මේ පාසලේ විදුහල්පති වරයා ලෙස දිගු කාලයක් සේවය කළා. මම මගේ ගුරුවරු හා දරුවන් වෙනුවෙන් ගෙන ගියේ ඉතාම සුහද , මිත්‍ර ශීලි ,කාරුණික ප්‍රතිපත්තියක් . ඇත්තටම මට කිසිම හේතුවක් නිසා තරහ යන්නෙ නෑ. මගේ ඉවසීමේ උපරිමය මේ ජයග්‍රහණවලට හේතුවක් වුනා. මගේ ක්‍රමය තුළ ගුරුවරු නිදහසේ තමන්ගෙ කාර්‍යය ඉටු කලා. කැපකිරීම් වලදි කවුරුත් පස්ස ගැහුවෙ නෑ . ඒ නිසාම 2017/ 18 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් දෙවන ස්ථානය ත් , නැවතත් 2019 ප්‍රථම ස්ථානය ත් අපට ලැබුන. 2020 ගණනය කිරීම් සිදු නොවුනත්, අපි වයඹ පළාතේ සුවිශේෂීම  ස්ථානය හිමි කර ගත්ත .  මම දැන් විශ්‍රාම ගන්න සූදානමින්.  මේ වන විටත් 2021 වසරේ දරුවන් 35න් 28ක් සහ 2022 වසරේ සිසුන් 23න් 19ක් සමත් මට්ටමේ ඉන්නවා .    මේ සියලුම සිසුන් සමත් වීමේ අවස්ථාව ක් උදාවෙන්න ත් පුලුවනි.

මේ ගුරුවරු එක්ක මමත් හරි හරියට වැඩ කරනවා .විදුහල්පති කියල පුටුවේ ඉඳගෙන ඉන්නේ නෑ .  මගෙ පාසලේ දරුවො 154 දෙනෙක් ඉන්නවා . ඒ සියලු දෙනාම නමින්  විතරක් නෙමෙයි,  ඔවුන් ගේ අත් අකුරු වලිනුත්  මට ඔවුන්ව හඳුනන්න පුලුවන් . ඒ තරම් ඒ දරුවො මට සමීපයි. අසනීපකට හැරෙන්න මං නිවාඩු ගන්නෙ නෑ . මම විශ්‍රාම යන මේ වසරෙ තාම එක නිවාඩුව ක් වත් ගත්තෙ නෑ . කොවිඩ් ප්‍රශ්න මැද්දෙ වුනත් එරියාව පාසලේ වැඩ නතර වුනේ නෑ …නිරෝධායනය නීතිවලට අනුව අපි වැඩ කළා.

අලි කරදර තාම එහෙමමයි. මට ගස් නගින්න පුලුවන් නිසයි අද ජීවත් වෙලා ඉන්නේ . පාන්දර ට හැමදාම අලි  මුණගැහෙනවා.   කැප කිරීමක්, උනන්දුව ක් හා අවදානම් දැරීම මත තමයි කණ්ඩායම ක් විදිහට අපි මේ සියලු ජයග්‍රහණ හිමි කර ගත්තෙ ..” . විදුහල්පතිවරයා  පැවසුවේ ය.

ඔහු  මේ රටේ ඉතා විශේෂ භූමිකාවක් කළ විදුහල්පතිවරයෙකි.  පාසල් නායකයන්ට ඔහුට කියන්නට ඇත්තේ මොනවා ද?. මම ඔහුව විමසුවෙමි.

” අත්‍යවශ්‍යය වෙන්නෙ ඉවසීම, සහ අනෙකාව තේරුම් ගැනීම. ගුරුවරුන්ට ත් යම් අපහසුතා තිබෙනවා . ඒවා තේරුම් ගෙන පිළියම් යෙදුවාම ඔවුන් ඉතා ම සතුටින් තමන්ගෙ රාජකාරි ය කරනවා. අනික ,මමත් මගෙ රාජකාරිය ට ඉතාම අවංකව යි. පටු පරමාර්ථ මා ළඟ කවදාවත් තිබුනේ නෑ .  මේ ජයග්‍රහණවලින්   මං සත පහක දෙයක් පෞද්ගලිකව හරි හම්බ කර ගත්තෙ නෑ. ඒ ගැන හැමෝම දන්නවා . අනික මං හොඳ ගොවියෙක් . ඉස්කෝලේ න් රෑ හතට ගෙදර ගිහින් මං යන්නෙ කුඹුරෙ පැලට. ඇත්තටම මගෙ ජීවිතේ හරිම සරලයි. ඒත් ආත්ම තෘප්තිය හා හෘදය සාක්ෂි ය අතින් මං ඉන්නේ ඉතාම ඉහළ තැනක. ඒක ආධ්‍යාත්මික යි. භෞතිකව මං හරි හම්බ කර ගත් කිසිම දෙයක් නෑ .  මගෙ පුතාල තුන් දෙනත් , බිරිඳත් එක්ක මං සරල සැහැල්ලු ජීවිතය ක් ගත කරනවා.”

ඔහුගේ දෑස් අග කඳුලක් දිලිසෙනු දුටුවෙමි. සත්තටම ඒ කඳුළ තුළ වූයේ අපූරු විදුහල්පතිවරයෙකුගේ නිහතමානී සතුටේ හැඟීම්බර බවය.   ”

ඔහු අවසාන වශයෙන් මෙසේ අපට කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇත්තටම මං කැමති නෑ විශ්‍රාම යද්දි මේ අහිංසක දරුවන්ගෙන් සත පහක දෙයක් ගෙදර අරන් යන්න. ඒත් මං දරුවන්ට කීවා මට මොනවා හරි දෙන්නම ඕන නම් සබන් කැටයක් ගානේ දෙන්න කියල . එතකොට මට පුලුවන් ඒ සබන් කැට ටික ඉස්කෝලේ ටම ආපහු දීල යන්න . මට පුලුවන් වුනොත් මං දරුවෙකුට පැළයක් ගානේ දීල යනවා….”

Exit mobile version