අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වෙයි

Gotabaya Rajapaksa

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට සියලු පක්ෂ නියෝජිතත්වයෙන් යුතු සර්ව පාක්ෂිත අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ‍ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් ජනාධිපති මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීය.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට නිල වශයෙන් ලිඛිතව අද හෙටම දන්වන බවටද ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ. මෙම සාකච්ඡාවට විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර මහචාර්ය තිස්ස විතාරණ ඇතුළු පක්ෂ 11 නියෝජනය කරමින් පිරිසක් සහභාගී වී ඇති අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඊයේ රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීම පිළිබදව කාරණය පිළිබඳව සංවාදය උණුසුම් වූ අතර එහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද එම යෝජනාවට පිරිසක් විරෝධය දක්වා තිබේ. ඔවුන් අවධාරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ සිටිය යුතු බවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන් ධුරයෙන් ඉවත් නොවන බවට ප්‍රකාශ කර තිබු අතර ජනාධිපතිවරයා විසින් අග්‍රමාත්‍යවරයා ලෙසට පත් කිරිමට යෝජනා කර තිබූ ඩලස් අලහප්පපෙරුම මන්ත්‍රිවරයාද දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව සඳහන් වේ.


Exit mobile version