වස විස නැති පාරම්පරික භෝග උයනක් හදන්න වැඩ අල්ලපු ග්‍රාමසේවක මහත්තයා..  

පොදු පරමාර්ථය ක් පෙරදැරි කරගත් සුන්දර මනුස්සයෙක් පිළිබඳව Lankasara ඔස්සේ අපි ඔබට කීවෙමු. ඒ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්පොළ ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කරන එස්. එම්.කේ.සපුකුමාර ගැන ය. පාරම්පරික වී වගාවේ නියුතු ඔහු පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීම උදෙසා අක්කර 20ක ඉඩම් කැබැල්ලක් ඉල්ලා සිටියේ   පොදු පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමට ය. ඔහුගේ මේ සද් ක්‍රියාව වෙනුවෙන් අක්කර 20ක ඉඩමක් පරිත්‍යාග කිරීමට ප්‍රදේශයේ හිමි නමක් ඉදිරිපත්ව සිටියි.

ඇහැටුවැවත් අඹන්පොළ ත් අතර පිහිටි නාකොලගනේ කඳු බොඩයාගම පිහිටි අත් හැර දැමු ඉඩම්  අක්කර 20 ක් මේ සඳහා  පරිත්‍යාග කලේ නාකොලගනේ විහාරාධිපති පූජ්‍ය වලත්වැවේ රාහුල හාමුදුරුවෝ ය.

පූජ්‍ය වලත්වැවේ රාහුල හිමි

ප්‍රවේණි ඉඩමක් වන මෙය ජයතුහාමි නැමැති ගොවි මහතෙකු විසින්  වසර 60 ට වැඩි කාලයක් වගා කරනු ලැබූ භූමිය කි. ජයතුහාමි ගේ මරණයෙන් පසුව වන අලි උපද්‍රව හේතුවෙන් අතහැර දැමූ මේ ගොවිබිම සරු කරන්නට ජගතෙක් මේ ප්‍රදේශයේ මෙතෙක් බිහි නොවීය. මෙම අක්කර 20ට සරිලන සේ ජලය රඳවා ගත හැකි වැවක් ද ඒ අසල තිබීම විශේෂත්වයකි .


ගොවිබිම නිර්මාණය වෙමින්..

මේ සද්කාර්‍යය තේරුම් අරන් මට මේ ඉඩම පරිත්‍යාග කරපු අපේ නායක හාමුදුරුවන් ට මං සදා ණය ගැතියි..”…….යනුවෙන් සපුකුමාර   පැවසුවේ දෑස් කඳුලින් පුරවා ගෙනය…

මේ ඉඩම මැද දැවැන්ත පර්වතයකි. ගල මුදුනේ ඉපැරැණි ආකාරයේ ජත්‍ර සහිත කුඩා චෛත්‍යයක් ඉදිකර, කුටියක් ඉදිකර පිළිවෙත් පුරන භික්ෂුවකට එහි වැඩ වාසය කිරීමට සැලැස්වීම සපුකුමාර ගේ තවත් අරමුණ කි. ගමයි පන්සල යි වැවයි දාගැබ යි සියල්ල සහිතව සැලසුම් වූ මේ බිම දේශීය වී , පාරම්පරික එලවළු, පලතුරු , ධාන්‍ය වර්ග , දේශීය ඔසු වර්ග සිය ගණන් වැවෙන සංරක්ෂණාගාරයක් බවට පත් කිරීමේ කටයුත්තේ මූලික බිම් සකස් කිරීමේ අදියර   මේ වන විටත් සිදුවෙමින් පවතී.

මේ සිදු කරන කටයුත්ත උදෙසා ඔහු උනන්දු කළ සණස ව්‍යාපාරය හා බැඳුණු    පාරම්පරික වී වර්ග සම්බන්ධ ආදායම් නිලධාරී රුචිර ගුණතිලක  මෙසේ පැවසුවේ ය.

“වටින කියන සම්පත් දායක ගොවි මහත්තයෙක් ඉදිරිපත් වෙලා ඉන්න නිසා අපි මේ වැඩේට උපරිම සහයෝගය දෙන්න තීරණය කළා. අපි මේ හදන්නෙ “පාරම්පරික දැනුම පිළිබඳ දැනමුතු මධ්‍යස්ථානය “ක්. අපි පාරම්පරික   සම්පත් උපරිම ලෙස සංරක්ෂණය කරනවා. වස විස නැතිව වගා කරන්න බෑ කියන මිථ්‍යාව දුරු කරනවා. ප්‍රායෝගික ව ඒක ඔප්පු කරනවා.

ගොවිතැන දි සොබාදහමෙ න්‍යායන් තේරුම් ගන්න ඕන. නැකැත් ක්‍රම, කෙම් ක්‍රම, සත්ත්ව චරිත, මේ හැමදේම එකට ගලපන්න ඕන. අපි මේ හරහා ගොවිතැන ගැන අවංකව උනන්දුව ක් තියෙන ගොවියෝ ඒක රාශි කරනවා. ඒ තත්වය ට ගේන්න අපිට එක පුද්ගලයෙක් මත රැඳෙන්න අපිට බැහැ. මොකද එහෙම වුනොත් ඒ පුද්ගලයාට බැරි වුන වෙලාවට වැඩ පිළිවෙළ අසාර්ථක වෙන්න පුලුවන් . ඒ නිසා අපි මේ සද්ක්‍රියාවලිය වෙනුවෙන් ආයතනික ව්‍යුහය ක් ගොඩනගනවා. ”

ඔවුන්ගේ මේ වික්‍රමාන්විත ය ඵල දරණ තුරු අපි දෑස් දල්වා බලා සිටිමු. එහි ඵල ලංකාසර තුළින් ඔබ වෙත ගෙන එන්නෙමු……

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ග්‍රාමසේවක සපුකුමාර…

 

Exit mobile version