ලෝකයට විහිළු සපයමින් ක්‍රිකට් වළලන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්සලටන්ට් නාඩගම…

neutral-ampayerපසුගිය වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ලෝබ කමක් නැතිව කන්සල්ටන්ට්ලා පත් කර ගත්තේය.

නිකම්ම නොව විශාල වැටුපක්ද ලබා දෙමින්‍ ය.

අලුත්ම පත්වීම කන්සල්ටන්ට්වරියකි.

ඒ සුසන්තිකා ජයසිංහය. සුසන්තිකා මෙරට බිහිවූ අග්‍රගන්‍ය මලල ක්‍රීඩිකාව බවට තර්කයක් නොමැත.


එහෙත් සුසන්තිකා දන්නා ක්‍රිකට් එකක් නම් නොමැති බව ඕනෑම පොඩි එකෙක් පවා දන්නා කරුණකි.

සුසන්තිකා කොතරම් දක්ෂ මලල ක්‍රීඩිකාවක වුවත් මේ දක්වා මලල ක්‍රීඩාවේ උපදේශක තනතුරකට ඇය පත් කර ගැනීමට මලල ක්‍රීඩා බලධාරීන් කටයුතු නොකළෝය.

ඒ ඈ ගැන ඔවුන් හොඳින්ම දන්නා නිසා විය යුතුය.

වෙනකක් තබා ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍ර්‍රීඩිකාවන් එක්ව පිහිටුවා ගත් ඔලිම්පියන්ස් එකමුතුවේවත් එකම ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා නොමැත.

ඇය තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදේශිකාවක ලෙස මාසික දීමනාවක් ලබයි. ඇයට ක්‍රිකට් ආයතනයෙන් මේ පත්වීම ලබා දී ඇත්තේ ඊට අමතරවය.

ලෝක කුසලානයකට යන කාන්තා කණ්ඩායමට නිත්‍ය පුහුණුකරුවකු පත් කර ගැනීමට අසමත් ක්‍රිකට් බලධාරීන් ඔවුන් ලෝක කුසලානට යාමට දිනක් තිබියදී සුසන්තිකා කණ්ඩායමේ උපදේශිකාවක ලෙස පත් කළේය.

හෂාන් තිලකරත්න කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත්වී බංග්ලාදේශ කාන්තා පිලේ පුහුණුකරු ලෙස ගොස් මාස ගණනක් ගත වුවත් තාමත් එම අඩුව පුරවා නැත.

ඒ වෙනුවට පැරණි මොඩලයේ වේග පන්දු පුහුණුකරුවකු වන හැමවිටම තාවකාලික පුහුණුකරු ලෙස පත් කරන රුමේෂ් රත්නායක ඉන්ටරීම් කෝච් ලෙස ලෝක කුසලානයට යවා ඇත.

සුසන්තිකා පැමිණ තමන්ව දුවවන්නට යතැයි දැනටමත් ක්‍රීඩිකාවන් බයෙන් පසුවෙයි.

කිමී 2 දුවා ගන්නවත් බැරි වුණත් කාන්තා තේරීම් කමිටුව විසින් ලෝක කුසලානයට යැවූ එක් ලාබාල ක්‍රීඩිකාවකට නම් සුසන්තිකාගෙන් ඒ සඳහා හොඳ පුහුණුවක් ඉදිරියේදී ලැබෙනු ඇත.

සුසන්තිකා කණ්ඩායම සමග ගියොත් ට්‍රේනර් කෙනෙක් අමුතුවෙන් අවශ්‍ය වන්නේද නැත.

ටොම් මූඩිද කෝටි ගණනක වැටුපට ක්‍රිකට් ඩිරෙක්ටර් නමින් කන්සල්ටන්ට් වරයෙකු ලෙස පත් කර සිටියේය. ගිවිසුමට අනුව ඒ සඳහා ඔහු වැඩ කළ යුතුව තිබුණේ වසරටම දින 100 ක් පමණි.එම දින 100 මොනිටර් කළේ කවුද යන්න හෝ දින කීයක් වැඩ කළේද දන්නේ මහේල ජයවර්ධන පමණි.

ඒ සංගක්කාරත් සමඟ මූඩිව මෙහි ගෙනාවේ මහේල නිසාය.

මහේලද මසකට ඩොලර් 18,000 ක වටිනාකමක දීමනාවක් සහිතව සියලුම ක්‍රිකට්වල කන්සල්ටන්ට් ලෙස පත් කර ඇති නිසා මහේලට ටොම් මූඩිගේත් ටොම්ට මහේලගේත් වැඩ අධීක්ෂණය කර ගැනීමට අවස්ථාව ක්‍රිකට් බලධාරීන් විසින් සලසා තිබුණේය.

කුමක් හෝ හේතුවකින් ඇතැම් විට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳක් වීමට දෝ ටොම් මූඩිගේ කොන්ත්‍රාත්තුව කලින් හමාර කරනු ලැබීය.

පුහුණුකරුවකු සිටියදී කන්සල්ටන්ට් කෙනෙක් කණ්ඩායමේ ඊට උඩින් සිටිමින් ලෝක කුසලානයකට කණ්ඩායමක් ගිය එකම රට ලංකාව විය යුතුය.

එසේ ගිය තරගාවලිවල කණ්ඩායම තිබුණාටත් වඩා අසාර්ථක වූයේ ඇයිදැයි සොයා පරීක්ෂණයක් හෝ පවත්වන්නට තරම් කශේරුකාවක් ක්‍රිකට් බලධාරීන්ට නොතිබුණේය.

එම තරගාවලි අතර තුර කන්සල්ටන්ට් හා පුහුණුකරුවන් අතර හටගත් මත ගැටුම් හොඳටම දන්නේ ක්‍රීඩකයන් ය.

මේ යන විදියට ක්‍රිකට් පරිපාලකයන්ටත් කන්සල්ටන්ට් කෙනෙකු පත් කර ගන්නා දිනය වැඩි ඈතක නොවේය.

එසේ වූවොත් කන්සල්ටන්ට්ලා පත් කර ගත යුත්තේ කෙසේදැයි කන්සල්ට් කර ගැනීමට ක්‍රිකට් බලධාරීන්ට හැකි වනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියුට්‍රල් අම්පයර් –

Exit mobile version