ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

neutral-ampayer

ලංකාවේ සමහර තැන් වලට පත් කෙරෙන අය කෙටි කලකින් ඒ තැනට තමන් සුදුස්සෙකු කියල ඔප්පු කරල පෙන්නනවා.

සමහරු කල් ගිහින් හරි තමන්ගෙ දස්කම් පෙන්නන්නවා.

තවත් සමහරු පුස්සො වෙලත් කොහොම හරි එතැන රැඳී ඉන්න සමත් වෙනවා.


අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේත් මෙහෙම කෙනෙක් ඉන්නවා.

ඒ තමයි දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග.

පියල් ක්‍රීඩකයකු ලෙස හිටපු කාලෙත් ඔහුගෙ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ප්‍රශ්නාර්ථයක් තිබුණා.

කෙටියෙන් කිව්වොත් චකර් කෙනෙක් කියලයි හැඳුන්වුණෙ.

ඒ වගෙම චකර් කෙනෙක් හැටියට හංවඩු ගැහුණු අනුෂ සමරනායකත් කාලයක් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කළා.

මේ දිනවල ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගයේ අපේ දඟ පන්දු යවන්නන්ගෙ කාර්‍ය භාරය ගැන සතුටු වෙන්න බැහැ.

බංගලාදේශයේ අවසන් වරට පැවති සංචාරයේදී එම ටෙස්ට් තරගාවලිය දින්නෙත් වේග පන්දු යවන්නන් නිසා.

රංගන හේරත්ගෙන් පසුව කණ්ඩායමට එක්වුණු තරුණ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙනිය හා ප්‍රවීන් ජයවික්‍රම ඔවුන්ගේ මුල් අවදියේ දක්වපු දස්කම් අද දකින්න නැහැ.

ගාල්ල තරගයේ දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවේ ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් අපේ පිතිකරුවන්ට තර්ජනයක් ගෙන දුන් ආකාරයට අපේ දඟපන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙනිය හා ජෙෆ්‍රි වැන්ඩසේට පන්දු යවන්න නොහැකි වීම කැපී පෙනුණා.

මොවුන්ගෙ දස්කම් මොට වීමට දඟ පන්දු පුහුණුකරු වගකිව යුතුයි.

විශාල වැටුපකුත් ලබමින් සියලුම සංචාරවලටද එක්වෙමින් පියල් විජේතුංග කරන කාර්‍යභාරය කුමක්දැයි සොයා බැලීම ක්‍රිකට් පරිපාලකයන්ගේ වගකීමක්.

රංගන හේරත් ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස එක්වීමට කැමැත්ත පළ කර සිටියත් ලොව වැඩිම ටෙස්ට් කඩුළු දවාගත් වමත් දඟ පන්දු යවන්නා වන ඔහු වෙනුවට ක්‍රිකට් පරිපාලකයො තෝර ගත්තෙ අවුරුදු දහයක් මුළුල්ලෙ දඟ පන්දු පුහුණුකරු ලෙස අසාර්ථක සේවයක යෙදී ඉවත් කර සිටි පියල් විජේතුංගවයි.

මෙම තෝරා ගැනීමට ඔහු සමග එස්.එස්.සී පිලේ වරක් ක්‍රීඩා කළ ක්‍රිකට් ආයතනයේ උපදේශකයකුත් එක්තරා දේශපාලනඥයකුත් බලපෑම් කර ඇති බව වාර්තා වෙනවා.

අන්තිමේදී වුණේ රංගන හේරත් බංග්ලාදේශය විසින් ඩැහැ ගැනීමයි. මේ වන විට ඔහු බංගලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස කටයුතු කරනවා.

ක්‍රිකට් ආයතනය ජාතික පුහුණුකරු වරින් වර මාරු කළත් සහායක පුහුණුකරුවන් එක දිගට අවුරුදු ගණන් තබා ගෙන ඉන්නවා. ඔවුන් ගැන ප්‍රගති වාර්තාවක් ලබා ගැනීමක් හෝ අධ්‍යයනය කිරීමක් කරන්නෙ නැහැ.

ලසිත් මාලිංගවත් වේග පන්දු පුහුණුකරු ලෙස බඳවාගත් පසු දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම දුර්වල වීමත් වැඩි වැඩ කරවන්නට ගොස් මතීෂ පතිරණ වැනි වේග පන්දු යවන්නන් ආබාධවලට ගොදුරු වීමත් අවධානයට ලක් විය යුතුයි.

දක්ෂ පුහුණුකරුවකුට මැණිකක් ඔප දමන්නාක් මෙන් ක්‍රීඩකයන්ගේ දස්කම් උළුප්පා ගත හැකි අන්දමට අදක්ෂ පුහුණුකරුවකුට ක්‍රීඩකයන්ගේ දස්කම් මොට කර දැමීමටත් හැකියාවක් තිබෙනවා.

ඕනෑම රටක පුහුණුකරුවන් කලින් කලට විශ්ලේෂනයට භාජනය කරන්නේ ඒ නිසයි.

කණගාටුවට කරුණ නම් ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නොමැති වීමයි..!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියුට්‍රල් අම්පයර් –

Exit mobile version