කාටත් නොපෙනන තේරීම් කමිටුවේ ඇත්ත!

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඇති වෙන්න කතා පාර්ලිමේන්තුවේ කියනු අසන්නට ලැබිණ.

පාලකයන්ගේ වැඩ කිඩ ගැන බොහෝ අය කතා කළත් කණ්ඩායම තුළ සිදුවන අක්‍රමිකතා මෙන්ම තේරීම් කමිටුවෙන් ඇතැම් ක්‍රීඩකයන්ට සිදුවන කෙනෙහිලි ගැන කිසිවකුට අවබෝධයක් නොමැති බව පැහැදිලි විය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව පත්ව දෙවසරක් ගෙවී යද්දී ඔවුන්ගේ තේරීම් ක්‍රම වේදය පිළිබඳ අප රටේ කිසිදු මාධ්‍යයකින් ප්‍රශ්න කිරීමක් හෝ විවේචනය කිරීමක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.

ඔවුන් පත්වූ මුල් සමයේ අනාගතය වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන්ට තැන දිය යුතු බව කියමින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් එකවර ටෙස්ට් හා එක් දින කණ්ඩායම්වලින් එළියට දැමීය.


මෙහිදී ඔවුන් කළ මුල්ම වැරැද්ද වූයේ දිමුත් කරුණාරත්න එක් දින කණ්ඩායමෙන් ඉවත් කර දසුන් ශානක එක් දින හා විස්සයි විස්ස යන අංශ දෙකේම නායකත්වයට පත් කිරීමය.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් පවා ප්‍රමෝද්‍යගේ කතුරට කැපී ගියේ ශාරීරික යෝග්‍යතාව ඉදිරියේය.

මුලදී කි.මී. 2 දිවීම හා ස්කින් ෆෝල්ඩ්ස් මැනීම දරුණුවට සිදු වුවද දැන් එහෙම දෙයක් ප්‍රමෝද්‍ය ,කළු, හේමන්ත යන තේරීම් කමිටුවට මතකත් නැත.

දැන් එවන් පරීක්ෂණයක් තිබුණහොත් කණ්ඩායමේ භාගයකට වඩා සිටිය යුත්තේ එළියේය.

මෙය ප්‍රමෝද්‍යලාගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හෙළුව හොඳින් පෙන්වන කරුණකි.

ඇතැම් ක්‍රීඩකයන් දිගින් දිගටම සංචාර තුළ මගියන් ( Passengers ) ලෙස සිටියදී ඇතැම් ක්‍රීඩකයන් ඔවුන්ගේ කතුරට කැපී යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයට තුඩු දෙයි.

ප්‍රමෝද්‍යලාගේ කතුරට නිරතුරුව හසුවන ක්‍රීඩකයන් දෙදෙනෙකි අසිත ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න.

චාමික එළියට යන තවත් හේතු කිහිපයක් ඇත. ඔහුගේ ස්ථානයේ තරගකරුවා වන දසුන් ශානක ඇතුළේ සිටීමට නම් චාමික එළියේ සිටිය යුතු ය.

බෝන් අගේන් වීම ප්‍රතික්ෂෙප කිරීම හේතුවෙන් ඔහුට බෝන් අගේන් කල්ලියෙන්ද කැපිල්ලක් තිබිණ.

ක්‍රිකට් වෙළාගත් මේ බෝන් අගේන් මාෆියාව තවමත් ඉවර නැත.

ක්‍රිකට් ලෝලීන් අතර චාමිකගේ ජනප්‍රියත්වයද ඔහුට පාරාවළල්ලක් වී ඇත්තේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ ඉරිසියාවටද එය හේතුවක් වීම නිසාය.

ලංකා ප්‍රිමියර් ලීගයේ තරගයකදී එකම වරදට ඔහුටත් කුසල් මෙන්ඩිස්ටත් දෙවිදියකට දඩ ගැසුණේත් යම්කිසි සංවිධානාත්මක ක්‍රම වේදයක් නිසාය.

අසිත ප්‍රනාන්දුටත් බෙදන හැන්ද වෙනස්‍ ය.

මුල්ම එක් දින තරග වරම් ලබා වසර පහක් ගතව ඇතත් අසිතට මේ දක්වා දී ඇත්තේ එක් දින තරග පහක් පමණි. ඒ වසරකට එක තරගයක් බැගිනි.

ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු ලබා ගත් හතරේ පහර දෙක නොවන්නට ශ්‍රී ලංකා පිලට අවසන් තරගයට ඒමට හෝ අවසානයේ ආසියානු කුසලාන දිනා ගැනීමට හෝ හැකි නොවන්නට තිබිණ.

එම සංචාරය අවසානයේ නම් කළ ලෝක කුසලාන සංචිතයෙන් ඔහු කැපී ගියේ හැමෝම පුදුමයට පත් කරවමිනි.

එම කණ්ඩායමට අනුමැතිය දුන් ක්‍රීඩා ඇමතිවරයාටවත් එය නොපෙනීමද කැපී පෙනුණි.

මීළඟ ආසියානු කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරද්දීත් අසිත හෝ චාමික ගේ නම් නොඑන්නේ ප්‍රමෝද්‍යලාගේ කුමක් හෝ අභිලාශයක් හේතුවෙන් විය යුතුය.

වැඩි කලක් නොගොස් ඇතැම් අඩු දස්කම් දක්වන ක්‍රීඩකයන් 15 තුළ සිටීමත් එකම ක්‍රීඩකයන් වරින් වර කිසිදු දස්කමක් නොදක්වා ඇතුළට ඒමත් අසිතලා,චාමිකලා වැනි ක්‍රීඩකයන් කැපී යාමත් සිදුවන්නේ කෙසේද යන්න එළියට එනු ඇත.

එය එළියට එන්නේ ඇතැම් විට එන්සීසී පිටිය පැත්තෙන්ද විය හැක.

නියුට්‍රල් අම්පයර්ටද එතෙක් සුළු කලක් ඉවසා සිටීමට සිදු වනු ඇත.

ඇත්ත කිසිවිටෙක සඟවා තැබිය නොහැක.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියුට්‍රල් අම්පයර්

 

Exit mobile version