ජීවිතයේ බර පසෙක තබා තරගයට බර උස්සා රනින් රිදියෙන් දිනූ වන්නියේ දරු කැකුළු

වන්නියේ ඉන්නේ මහා බරක් ඔසවාගෙන ජීවත්වන මිනිස්සුය. ඒ මිනිස්සු මුවින් නොබැන ඒ බර උසුලති. ජීවිතය බරක් කර නොගත් ඒ ශුෂ්ක ජීවිත ගතකරන මිනිස්සුන්ගේ දරුවන් සංසාර පුරුද්දට ජීවිතය දරා ගන්නට හුරුවන බව සැබෑය. එහෙත් ක්‍රීඩාවක් ලෙස බර ඉසිලීම වන්නියට දරාගන්නට අපහසුය. එය පෝෂණය හා බැඳුණු ස්වස්ථතාව උත්කර්ෂයට නන්වන ක්‍රීඩාවක් වන බැවිනි.

එහෙත් වන්නියේ ක්‍රීඩකයෝ බර ඔසවමින් ලෝකය දිනා ගත් ඉතිහාසයක් අපට තිබිණි.  මේ  පොඩිඋන් ඒ පරම්පරාවේය. ඔවුහු පසුගිය 2021 අන්තර් පාසල් බර ඉසිලීමේ තරගාවලියේ ජයග්‍රහණ පිට ජයග්‍රහණ වාර්තා කළහ. මේ ජයග්‍රහණ ලබා ගත්තේ ගල්ගමුවේ යූ.බී.වන්නිනායක ජාතික  පාසලේ  දරුවන්ය.

18න් පහළ කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරමින් ඕදිත නාරායන  ශිෂ්‍යයා විසින් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් කිලෝ ග්‍රෑම් 90 ක බරක් සහ  ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් කිලෝ ග්‍රෑම් 110 ක බරක් ඔසවා මුළු බර ලෙස කිලෝ ග්‍රෑම් දෙසියක බරක් ඔසවමින් බර පන්තිය ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.


ඔදිත බර ඉසිලීමේ තරගාවලියෙන්  මෙරටට ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් අත්කරදුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පී.කේ.සුදේශ් නාරායන  ගේ වැඩි මහල් පුත්‍රයාය. ඕදිත නාරායන  ගල්ගමුව යූ බී වන්නිනායක  ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේය.

18න් පහළ කිලෝ ග්‍රෑම්  61 බර පන්තිය නියෝජනය කරමින් ටී එම් .එන්. එස්. දිසානායක ශිෂ්‍යයා     ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම්  81ක   බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 100ක බරක් ඔසවා මුළු බර ලෙස කිලෝ ග්‍රෑම්  181 kg ක බරක් ඔසවා දෙවැනි ස්ථානය ලබා ගත්තේය. ඔහුත් එම විද්‍යාලයේම 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේය.

ඩී එන් කුමාර 16 න් පහළ  කිලෝග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරමින් මුළු බර කිලෝග්‍රෑම් 105 ක්   ඔසවා එම ඛාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

එන්.ඕදිත නාරායන හා ටී එම්.එන්.එස්. දිසානායක ක්‍රීඩකයින් පසුගිය 2021 සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය නියෝජ්‍ය කිරීමට සිටි නමුත් කොරෝනා තත්වය හේතුවෙන් එය අවලංගු විය .

මේ වන විට ඔවුන් පුහුණුව ලබන්නේ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකාවට අත්කර දුන් ශ්‍රී ලාංකික ජාතික කණ්ඩායම නියෝජනය කළ සුදේශ් නාරායන  ගේ මග පෙන්වීමෙන්  මෙවින් එස්. විජේවර්ධන යටතේ ය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික හා ජාත්‍යන්තර තරග කිහිපයකටම මේ වන විට පුහුණුවීම්වල නිරත වන අතර, ඔවුන් එම පුහුණුවීම්වල නිරත වන්නේ දුෂ්කරතා මධ්‍යයේය. ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් පැළඳුම්  ලබාදීමට කිසිවෙකුගේ හෝ ඉදිරිපත් වන්නේ එය මේ රට වෙනුවෙන් කරන ආයෝජනයක්ය.

මේ අනාගතය ගොඩ නගන්නට ඔබට  0773652181 දුරකථන අංකයට ඇමතිය හැකිය. ඊට පෙර ඔබට මේ වග කිව යුතුය. චින්තක ගීතාල් විදානගේ ඔබ දන්නවා ඇත. පොලොන්නරුවෙන් බිහිවුණු චින්තක බර ඉසිලුවේ අන්ත දුක් විඳිමිනි. වර්ෂ 2013 ජාතික තලය තුළ අංක එකට එනවිටත් ඔහුට රස්සාවක් තිබුණේ නැත. අතේ සිමෙන්ති අතුල්ලාගෙන බර ඔසවා රට ජාත්‍යාන්තරයට ගෙන ගිය චින්තකලා ඒ තැනට ආවේ නොසලකා හැරීම්, මග හැරීම් වලටත් වඩා නොදක්කා සේ සිටීමේ කටුක පීඩාවන් දරාගෙනය.

රටට එක අත්දැකීමක් ප්‍රමාණවත්ය. මේ පොඩි උන්ට චින්තකලාට දුන්න පීඩාවම ඊට දශකයකට ආසන්න කාලයකට පසුත් ලැබෙනවා නම් අප අප ගැන සිතිය යුත්තේ මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇත්තට අපි මොන මිනිස්සු ද?

 

Exit mobile version