අසේල කුරුළුවංශ –
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා සහභාගී වීමට යමින් සිටිය දී යතුරුපැදි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි සිල්වෙස්තර විද්‍යාලයේ අනෙක් සිසුවා ද ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පල්ලේකැලේ, රත්මල්ඔය පාලම අසළදී ඊයේ (02) පෙරවරු 6.30 ට පමණ මොවුන් ගමන් ගත් යතුරු පැදිය පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවූ අවස්ථාවේදීම යතුරු පැදිය පැදවූ සිසුවා එම ස්ථානයේ දීම ඛේදනීය ලෙස මිය ගියේය. හිසට බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් සිසුවා ඊයේ පස්වරුවේ මියගොස් ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ශාන්ත සිල්වෙස්තර විදුහලේ 12 වන වසරේ අධ්‍යාපනය ලැබූ නෙතුල නිම්දින සහ සජිත් කරුණාරත්න නැමැති සිසුන් දෙදෙනාය.

මෙම සිසුන් දෙදෙනා මහා ක්‍රිකට් තරඟයේ ආරක්ෂක කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති අතර, ක්‍රීඩාංගණයට පැමිණෙන සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු සංවිධාන කටයුතු සඳහා සහභාගී වීමට පෙරවරුවේ යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
දිගන සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක යතුරු පැදිය ගැටී ඇති අතර, බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත පල්ලේකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
මේ අතර මෙම ඛේදනීය අනතුර හේතුවෙන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වූ 66 වන මහා ක්‍රිකට් තරඟය අතරමග නතර කිරීමට විදුහල්පතිවරුන් දෙදෙනා තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් විදුහල්පතිවරුන් දෙදෙනා සාකච්ඡා කර මෙම තීරණයට එළැඹ ඇත.
තරඟය ආරම්භ වී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විද්‍යාලය කඩුලු 03ක් දැවී ලකුණු 45ක් ලබා සිටියදී මෙලෙස තරඟය අත්හිටුවීමට පියවර ගැනුණි.







