GMOA වෛද්‍ය වෘත්තියත් හෑල්ලු කරලා ඇමතිවරියත් ලජ්ජාවට පත් කළා…

Upul-Rohana

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

එන්නත්කරණ වැඩ සටහන තුළ පසුගිය සතියේදී ඇති වුයේ ආන්දෝලනාත්මක සිද්ධියකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුලේ අයට ලබාදීමට තිබූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 13000ක් රජයේ වෛද්‍ය නිලධාරින්‌ගේ සංගමය සොරාගෙන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් ලබා දුන් බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය චෝදනා කළේය. මේ දැක්වෙන්නේ එම බරපතල චෝදනාව සම්බන්ධයෙන් සංගමයේ සභාපති උපුල් රෝහණ සමග ලංකාසර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.


ප්‍රශ්නය – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම එන්නත් මාත්‍රා 13000ක් සොරකම් කළා කියල ඔබ චෝදනා කරනවා. ඒක බරපතල චෝදනාවක්. මේ කතාව කියන්නෙ පදනමක් ඇතිව ද?

පිළිතුර – මෙය සොරකම් කිරීමක් තමයි. මොකද මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගෙ ඥාතීන්ට ලබා දුන්නෙ මාරන්තික අවදානමක ඉන්න මිනිස්සුන්ගෙ දෙවැනි එන්නත් මාත්‍රාව. ඇස්ට්‍රාසෙනිකා එන්නත හිඟවෙලා එය ජාතික ප්‍රශ්නයක් වෙලා තියන අවස්ථාවකයි ඔවුන් මෙය ලබා ගන්නෙ. මේ එන්නත් මාත්‍රා 13000 ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට මීට සතියකට පමණ පෙර ලිපියක් යොමු කළා. ඒ ලිපියේ සඳහන් කර තිබුණේ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල අයට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දීම සඳහා මේ එන්නත් මාත්‍රා 13000 ලබා දෙන ලෙසයි. ඔවුන් මේ එන්නත් මාත්‍රා ප්‍රමාණය නිදහස් කරගන්නෙ සමස්ථ සෞඛ්‍ය සේවයම පෙන්නලා.

ප්‍රශ්නය – ඔබ කොහොමද මෙය දැනගත්තෙ.

පිළිතුර – අපිට සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට යවා තිබෙන ලිපිය ගැන. ඒ ලිපිය ලියන්නට මුල් වුණු මූලික ඉල්ලීමට පටහැනිව ඔවුන් කටයුතු කරන්න යනවා කියලා.

ප්‍රශ්නය – පටහැනිව යන්නෙන් ඔබ අදහස් කළේ කුමක් ද?

පිළිතුර – පැහැදිලිවම ඔවුන්ගේ බලාපොරොත්තුව වෙලා තිබුණෙ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ පවුල්වල අයට එන්නත් ලබා දෙන්න නොවෙයි. තමන්ගේ වෘත්තිය සමිතිය ඇතුළෙ ඉන්න වෛද්‍යවරුන්ගේ පවුල්වල අයට ඇතුළුව වෛද්‍යවරුන්ට පමණක් මේ එන්නත් මාත්‍රා 13000 විද ගැනීම.

ප්‍රශ්නය – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුදැනුම මත තමයි එන්නත් නිකුතුව සිදුවන්නේ. එහෙම නම් රජයේ වෛද්‍ය නිලධාරීන් කොහොමද ඔවුන්ට කැමති ලෙස තීන්දු තීරණ වෙනස් කරන්නේ?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර – පැහැදිලිවම කියනවා නම් ඔවුන් සෞඛ්‍ය ඇමතිවරය සමග ඩීල් එකක් දාලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඔබ හරියටම කියන්නේ කොහොමද ඇමතිවරිය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඩීල් දැම්මා කියලා.

පිළිතුර – ඇමතිවරිය තමා කරපු වරද පිළිගත්තා‍. ඇය සෞඛ්‍ය වෘත්තීය සංගම් 20ක පමණ නියෝජිතයින් සමග පැවැත් වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළා තමන් අතින් වරදක් වූ බවට. ඒ වරද ඉක්මනින්ම නිවැරදි කරනවා කිව්වා.

ප්‍රශ්නය- එතකොට ඇමතිවරයිද වසංගත රෝග විද්‍යා අංශයට එන්නත් මාත්‍රා 13000ක් පිට කරන්න කියලා නියෝගය කරලා තියෙන්නේ?

පිළිතුර – නැහැ. ඇමතිවරිගේ නියෝගයන් මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම නිළධාරියෙක් තමයි වසංගතරෝග විද්‍යා අංශයට ලිඛිත නියෝගය කරලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඒ ඉහළ නිලධාරියා කවුද?

පිළිතුර – ඒ නිලධාරියාගේ ලිඛිත ලියවිල්ලේ පිටපතක් අප සතුව නැහැ. ඒ නිසා නම ප්‍රකාශ කරන්න පුළුවන්කම්ක නැහැ‍

ප්‍රශ්නය – මෙතනදී ඇමතිවරිය වරද නිවැරදි කරන බවට පොරොන්දු වූ බව ඔබ ප්‍රකාශ කලා. එය කරන්නේ කොහොමද?

පිළිතුර – වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් කාර්ය මණ්ඩ සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමට ඇය පොරොන්දු වුණා.

ප්‍රශ්නය – ඇය පොරොන්දු වුණත් මේ වන විට රට තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා නැහැ නේද?

පිළිතුර – එන්නත් ලබා දීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා‍. එතනදී වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම වෘත්තීය සමිති එක හඬින් කියා සිටියා රටතුළ මේ වන විට තිබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ටික එකතුකරලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල්වල පළමු මාත්‍රාව ගත් අය ඉන්නවා නම් ඒ අයට දෙවන මාත්‍රාව ලබා දීමටත් මේ වන විට පළමු මාත්‍රාව ගත් පොදු ජනතාව ලක්ෂ පහමාරක් විතර සමාජයේ ඉන්නවා ඒ අයගෙන් බරපතල රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් තෝරා‌ ඔවුන්ට දෙවන මාත්‍රාව ලබා දෙන්නත් කියලා. ඒත් එක්කම ක්ෂේත්‍ර නිලධාරීන්වන ග්‍රාමසේවක නිළධාරීන්ට විදුලිබල මණ්ඩලයේ, ඛනිජතෙල්නීතීගත සංස්ථාව ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන නිලධාරීන්ට එන්නත ලබා දියු යුතුයි කියලත් අපි සඳහන් කළා.

ප්‍රශ්නය – සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුලේ අය ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අය ඉන්නවා නම් කියලා ඔබ සදහන් කළේ පළමු මාත්‍රාව ලබා නොගත් අයත් ඔබ සාමජිකයින්ගේ පවුල්වල සිටිනවාද?

පිළිතුර- ඔව් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ගේ පවුල්වල කිසිම කෙනෙක් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන නැහැ.

ප්‍රශ්නය- එහෙනම් වෛද්‍යවරුන්ගේ පවුල්වල අය කොහොමද පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන්නේ?

පිළිතුර – ඒක අපිටත් ගැටලුවක්. ඒ අය පළමු මාත්‍රාවත් තමන්ගේ පවුල්වල අයට විදගෙන තියෙන්නේ හොරෙන්. සෞඛ්‍ය අමාත්‍යංශය කිසිම විටක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල අයට එන්නත ලබා දෙන්න කියලා චක්‍රලේඛ නිකුත් කළේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛ නිකුත් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එන්නත ලබා දෙන්න කියලා විතරයි. මේ අය සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛවලට පටහැනිව තමයි මුල සිටම කටයුතුකර තිබෙන්නේ.

ප්‍රශ්නය – මේ වන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා කොපමණ ප්‍රමාණයක් ඉතිරිව ඇතියි කියලා විශ්වාස කරනවාද?

පිළිතුර – මේ වන විට එන්නත් මාත්‍රා 7000ක් විතර ඇතියි කියලා අප විශ්වාස කරනවා. ඒ එන්නත් අද (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොරොන්දු වුණා එකතු කරනවා කියලා.

ප්‍රශ්නය – ඒත් ඔබගේ ඥාතීන් අතුළු පවුලේ අයට එන්නත ලබා ගත්තා කියලා මේ වන විට ඔබට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔබත් වංගු ගහල ද මේ කතා කරන්නෙ?.

පිළිතුර – අපි නීතියට වංගු ගහන මිනිස්සු නෙමෙයි. මේක සම්පූර්ණ අසත්‍යයක්‍. මම ක්ෂේත්‍රයේ සිටිනකෙනෙක් විදිහට එන්නත ලබා ගත්තා. මගේ බිරිය රෝහල් හෙද පාලිකාවක්. ඒ නිසා ඇයත් එන්නත ගත්තා. මගෙයි නෝනගෙයි තාත්තලා ජිවතුන් අතර නැහැ. ඉන්නේ අම්මලා දෙන්න විතරයි. ඒ අයට එන්නත් දෙනවා තියා කෑවද බිව්වාද කියලාවත් බලන්න යන්න වෙලාවක් නැහැ. අනික මගේ දරුවෝ දෙන්නා අවුරුදු 18ට අඩුයි. මේ බොරු පතුරුවන්නේ බංකොලොත් වෙච්චි මිනිස්සු…


.

Exit mobile version