ගතවූ වසර 10ක කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ළමා අපයෝජන හා හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 108,581ක් ලැබී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා පෝල්රාජ් අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
එමෙන්ම 2026 අප්‍රේල් 30 වන විට මෙරට මහාධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව 4,421ක් වන අතර, එම සියලුම නඩු සඳහා මේ වන විටත් අධිචෝදනා ගොනු කර අවසන් බව ද ඇය සඳහන් කළාය.
නඩු කඩිනම් කිරීමට නව දත්ත පද්ධතියක්
මෙම අධිචෝදනා ගොනුකළ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා, දිවයින පුරා පිහිටි ළමා හා කාන්තා කාර්යාංශ 47ක් සම්බන්ධීකරණය කරගනිමින් විශේෂ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. කෙසේ වුවද, නඩු නියාමනයේදී සෑම නඩු දිනයකදීම අධිචෝදනා සම්බන්ධ අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය සතුව නොමැති බවද ඇය පිළිගත්තාය. මේ වන විට මහාධිකරණ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.
දරුවන්ට බලපෑමක් නැතිව සාක්ෂි දෙන්න වීඩියෝ ඒකක
වින්දිත දරුවන්ගේ රැකවරණය සහ මානසික සුවය තහවුරු කිරීමේ ඉදිරි පියවරක් ලෙස, දරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකර, කිසිදු බලපෑමකින් තොර පරිසරයක සිට ඔවුන්ගේ සාක්ෂි වීඩියෝ තාක්ෂණය ඔස්සේ පටිගත කර අධිකරණයට ගොනු කිරීමට කටයුතු සූදානම් කරගෙන යයි.
මේ වන විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරී මූලස්ථානයේ සහ රාගම ‘ළමා පියස’ මධ්‍යස්ථානයේ මෙවැනි වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක දෙකක් ක්‍රියාත්මක වේ. මීට අමතරව ගාල්ල කරාපිටිය රෝහලේ ද වීඩියෝ පටිගත කිරීමේ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, පද්ධතියේ කටයුතු අවසන් වූ පසු එය සක්‍රීය වීමට නියමිතය. අනුරාධපුර වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයේ ද ස්ථාපන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.
පළාත් මට්ටමින් මෙවැනි වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් ස්ථාපනය කිරීමට නියමිත අතර, රෝහල් ආශ්‍රිතව ඒ සඳහා සුදුසු පරිශ්‍රයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද ඇය පැවසුවාය.









