සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය එකඟවෙයි… පොහොට්ටුවෙන් ස්වාධීන වුන ඩලස්ලාත් එකඟයි…

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවේ    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම   ඇතුළු කණ්ඩායමත්  අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ   හමු වී සාකච්ඡා  කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවට ජනාධිපතිවරයා    ගරු කිරීම පිළිබඳ ස්තූතිය පළ කළ හිටපු මෛත්‍රීපාල සිරිසේන  සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සිය පක්ෂයේ සම්පූර්ණ සහාය ලබාදෙන බව  කීවේය.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ පිළිගත් ක්‍රමයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදිය යුතු බවය. ඒ සඳහා සියලු දෙනා එක්ව එය සාර්ථක කරගත යුතු බවත් ඔහු  පෙන්වා දුන්නේය.

ජනතාව ඉල්ලූ වෙනස මේ වන විට සිදු වී ඇති බව පෙන්වා දුන් ශ්‍රී.ල.නි.ප. ජාතික සංවිධායක දුමින්ද දිසානායක  , සුනාමි අවස්ථාවේ දී මෙන්ම යුද ජයග්‍රහණයේදීත් අත්හැරුණු අවස්ථා මේ මොහොතේ අත්නොහැර රට නිවැරදි මාවතට හරවාගැනීමට පියවර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ද පැවසීය.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා 11කින් සමන්විත වැඩපිළිවෙළෙ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත ලබාදීම ද අද සිදු කෙරිණ.

රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, අංගජන් රාමනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම යන  ඇතුළු කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පවසා සිටියේ වසර 10කට ගැළපෙන ආර්ථික සැලැස්මක් සැකසීම සඳහා සියලු දෙනා එකාවන්ව ඊට පදනම දැමිය යුතු බවයි.

මෙහිදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ විධිමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බවයි. ඩිලාන් පෙරේරා, චරිත හේරත්, නාලක ගොඩහේවා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත් කර, රට ගොඩනැගීමේ තීන්දු තීරණ ගැනීම සර්ව පාක්ෂික ආණ්ඩුවක අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  .

 

 

 

 

 

 

 

 

Exit mobile version