සරසවි නවකවදය මුලිනුපුටා දැමීම පිළිබඳ විද්වත් කතිකාවක් ජුනි 15 වැනිදා

විශ්ව විද්‍යාලවල ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි සන්ධානය මගින් සංවිධානය කෙරෙන විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් ජුනි 15 සඳුදා පස්වරු 5 සිට 6.30 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ.

මෙම වෙබ් සම්මන්ත්‍රණයට සහභාගී වීමට කැමැති අයට සංවිධායකයින්ගේ ෆේස්බුක් පිටුව හෝ https://forms.gle/C6ftSzmVPpVBZhxe8 සැබැඳිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකි අතර #ANTIRAG යන වැඩසටහන් කේතය භාවිත කරමින් slido.com හරහා ගැටලු ද යොමු කළ හැක.

මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධායකයින්ගේ ෆේස්බුක් පිටු හරහා ද සජීවීව විකාශනය වේ.


‘විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් නවක වදය හා ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම’ මැයෙන් සංවිධානය කර ඇති මෙම වෙබ් සම්මන්ත්‍රණයට ඉහළ පෙළේ විද්වත් මණ්ඩපයක් තම සම්පත් දායකත්වය ලබාදෙයි.

විශ්ව විද්‍යාලවල ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි සන්ධානයේ සම පහසුකාරක, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ ආරම්භක සභාපති සහ ළමා රෝග පිළිබඳ සම්මානිත මහාචාර්ය, විද්‍යාජෝති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, රුහුණු විශ්ව විද්‍යාලයේ වර්තමාන උප කුලපති සහ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ද වන මහාචාර්ය සුජීව අමරසේන, Center for Poverty Analysis ආයතනයේ අධ්‍යක්ෂ හා විශ්ව විද්‍යාවල ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය හා නවක වදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිහිටුවන ලද ‘ස්ත්‍රීපුරුෂ සමානතාව හා සමානාත්මතාව’ පිළිබඳ ස්ථාවර කමිටුවේ සම සභාපතිවරයා ද මෙම සන්ධානයේ ප්‍රධානියෙකු ද වන ආචාර්ය විජය ජයතිලක, කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභා මනුරත්න, Verité Research ආයතනයේ නීති පර්යේෂණ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී සහ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතීඥ මල්සිරිනි ද සිල්වා සහ නවක වදයට මුහුණ දුන් සිසුවෙකු ලෙස ඉන් තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් සිදුවූ බලපෑම පිළිබඳ සිය අත්දැකීම් බෙදාගැනීමේ අභිලාෂයෙන් පෙරට පැමිණ සිටින රුහුණුු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධි අපේක්ෂක දර්ශ උදයංග යන මහත්ම මහත්මීහු ඒ අතර වෙති.

ප්‍රකට කළමනාකරණ උපදේශකයෙකු සහ කතුවරයෙකු ද වන දීපාල් සූරියආරච්චි මහතා සංවාදය මෙහෙයවනු ඇත.

මෙම වෙබ් සම්මන්ත්‍රණය හරහා නවක වදය විෂයට අදාළ පැතිකඩ සහ ගැටලු කිහිපයක් ආවරණය කිරීමට නියමිත ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම, නවක වදය සිදුවන ආකාරය සහ ප්‍රචණ්ඩකාරී සහ හිංසාකාරී මුහුණවරකින් එය ක්‍රියාත්මක වීමට කිසිදු සාධාරණ හේතුවක් නැත්තේ මන්ද?, මේ සම්බන්ධව පියවර ගැනීමේ වගකීම ඇත්තේ කා හටද?, වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධව පියවර ගෙන නැත්තේ සහ ගෙන ඇති පියවර ප්‍රමාණවත් වී නැත්තේ ඇයි?, මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින උප කුලපතිවරයාගේ සිට පීඨාධිපතිවරු, පීඨ සහ පරිපාලනය මෙන්ම සිසුවා දක්වා විවිධ පාර්ශ්වකරුවන් සතු භූමිකාව, විශ්ව විද්‍යාල තුළ සහ ඉන් පිටත නීති පද්ධතිය තුළ මීට එරෙහිව පවතින දඬුවම්, මේ පිළිබඳ වාර්තා වීම් සහ රහසිගතව තොරතුරු ලබාදීම් යටපත් වීමට/ අවදානම් සහගත වීමට හා ඵලදායී නොවීමට හේතු, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුවන මෙවැනි දෑ පිටතට නොදීමේ ප්‍රවණතාවක් පවතීද යන්න සහ විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් ප්‍රචණ්ඩත්වය හා හිංසාකිරීම් මුලිනුපුටා දැමීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ට ඉදිරියේදී ගත හැකි පියවර මොනවාද ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙනු ඇත.

Exit mobile version