දිනසේන රතුගමගේ –
යාපනයේ වැල්වෙට්ටිතුරෙයි පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී එම්.කේ.ශිවාජිලිංගම්ව 5 දා යාපනය පේදුරුතුඩුව මහේස්ත්රාත් ගායත්රී සයිලේෂන් විසින් ඇප මත නිදහස් කොට තිබේ.
හිටපු මන්ත්රීවරයා යාපනය වැල්වෙට්ටිතුරේ කෝවිල් අඩි ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී 5 දා පේරවරුවේ අත් අඩංගුවට ගනු ලැබුවේ පේදුරුතුඩුව අධිකරණයේ ඔහුට එරෙහිව ගොණු කොට ඇති නඩුවක් සඳහා වාර දෙකක් පෙනී නොසිටි නිසා අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මතය.
2018 වසරේදී උතුරේ මහවිරු සැමරුම් උළෙලක් සංවිධානය කිරීමට කටයුතු කිරීම නිසාත් ප්රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් කේක් කැපීමට ගිය අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන හේතූන් මත ශිවාජීංගම්ට එරෙහිව එම නඩුව ගොණු කොට තිබුණි.
රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කළ හිටපු මන්ත්රීවරයාට ජනවාරී මස 21 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් එදිනට මේ සම්බන්ධයෙන් වූ නඩු විභාගය යළි කැදවන බවත් මහේස්ත්රාත්වරිය දැණුම් දී තිබේ.
ශිවාජිලිංගම් මේ අන්දමට අවස්ථා හයකදීම මීට පෙර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව මේ වන විට මුලතිව් අධිකරණයේ නඩු දෙකක්ද පේදුරුතුඩුව අධිකරණයේ එක් නඩුවක්ද විභාග වෙමින් පවතී.