දවස් දෙකකට රට ඇරීම නැති ප්‍රශ්න ගෙට ගැනීමක්! – වෛද්‍ය සංගමය යළිත් ජනපතිට ලියයි

doctors

ලබන 23 වැනිදා සිට 25 වැනිදා දක්වා රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් යළිත් අප්‍රේල් මාසයේ තිබූ තත්ත්වයට කොවිඩ් වසංගතය උත්සන්න විය හැකි බවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

සිය ලිපිය මඟින් ඔවුන් විමසා ඇත්තේ ලබන 23 වැනිදා සිට වනදා සිට 25 වනදා දක්වා සංචාරක සීමා ලිහිල් කිරීම කවර පදනමක් මත සිදු කළේ ද යන්නයි.

පසුගිය 11 වැනි දා රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන, ලබන 28 වෙනිදා දක්වා රට පුරා දැඩි සංචරණ සීමා පනවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පසුබිමක් තුළ මේ අයුරින් සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව සිටින බව ද වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ය.


මේ වන විටත් දෛනිකව කොවිඩ් ආසාදිතයන් 2000කට වඩා වාර්තා වෙමින් සහ දිනකට කොවිඩ් මරණ සාමාන්‍යයෙන් 50ක් පමණ වාර්තා වන පසුබිමක් තුළ මෙන්ම, ඉතා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වී ඇති විටෙක මෙවැනි තීරණයක් ගැනීම කිසිසේත් සුදුසු නොවන බව වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එම ලිපිය මගින් වැඩිදුරටත් ඔවුන් අවධාරණය කර ඇත්තේ මෙලෙස සංචරණ සීමා දින කිහිපයකට වුවද ඉවත් කිරීම, ජනතාවගේ සංචරණය සීමාවක් රහිතව සහ කිසිදු පාලනයකින් තොරව වීමේ වැඩි ඉඩක් පවතින අතර එම තත්ත්වය තුළ වේගයෙන් පැතිරෙන නව ප්‍රභේද තවදුරටත් පැතිරීමේ හැකියාව ඇති බවයි.

ඒ තුළ කොවිඩ් වසංගතය පෙර නොවූ විරූ මට්ටමකින් වැඩි විය හැකි බවත් එය මෙරට සෞඛ්‍ය දේහයට දරාගත නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බවත් වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මෙතෙක් සිදුකළ සංචරණ සීමාවල ප්‍රතිඵලය ද එයින් ලබා ගත නොහැකි වන තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

දැනට රෝගය වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල සහ පැතිරෙන ආකාරය අනුව විවිධ වෙනස්කම් පවතින අතර මෙම සංචරණ සීමා ලිහිල් කිරීම ද යම්කිසි ක්‍රමවේදයකට සිදුවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අදහසයි.

එහිදී ඉතා සුපරික්ෂාකාරී ලෙස දිස්ත්‍රික් මට්ටමින් පවතින සත්‍ය දත්ත මත සුදු කළ යුතු බව පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එය කිසිසේත් රටක් ලෙස එකවර සංචරණ සීමා නිදහස් කිරීම නුසුදුසු බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කොට තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් ඒ හා සම්බන්ධ අන්තර් වෛද්‍ය විද්‍යායතන කමිටුවත් මේ වන විට සංචරණ සීමා තත්ත්වයෙන් නිදහස් වීමේ ක්‍රමවේදයක් සකස් කරමින් පවතින අතර එය ඉදිරි සතියේ දී රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එයින්ද ඔවුන් යෝජනා කොට ඇත්තේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ විශේෂඥයන් නියෝජනය කරන කමිටු දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපනය කොට ඔවුන් හරහා දත්ත විශ්ලේෂණය කොට මෙම සංසරණ සීමා ලිහිල් කිරීමට කටයුතු කිරීමට එම ක්‍රමෝපාය තුළින් සැලසුම්කර ඇති බව වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් මේ තීරණාත්මක මොහොතේ දැනට පවතින සංචරණ සීමා බාධාවකින් තොරව, නිර්දේශිත දින ගණන දක්වා තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටී.

Exit mobile version