මහනුවර රෝහලේ දවස් තුනට මරණ 19යි… දෛනික පී.සී.ආර්. 370න් 200ක් පොසිටිවු….

පොඩි දරුවන් තිදෙනෙක් ඇතුළුව අද (10)  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ   07ක් මහනුවර රෝහලෙන් වාර්තා විය.

මේ මරණ 07 තුළ ඊයේ මහනුවර රෝහලේ කොවිඩ් ප්‍රතිකාර අංශයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි දරුවන් දෙදෙනා ද වූයේය.

එමෙන්ම ඊයේ කොවිඩ් නිවුමෝනියා මරණ 05ක් නුවර රෝහලෙන් වාර්තා වී ඇත. ඉන් හතරක් මියගොස් ඇත්තේ නිවෙස්වලදීය. කිසිම කොවිඩ් රෝග ලක්ෂණයක් මෙම රෝගීන් නොපෙන්වූ බවත් හදිසියේ ඇතිවූ ශ්වසන ආබාධ තත්වයත් මත රෝහල්ගත කරනවිටත් ඔවුන් බරපතල නිවුමෝනියා තත්වයේ පසුවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.


එමෙන්ම පෙරේදාත් කොවිඩ් රෝගී  මරණ 07ක් මහනුවර රෝහලෙන් පමණක් වාර්තා වී තිබේ.

මේ වනවිට දින තුනක් තුළ මහනුවර රෝහලෙන් පමණක් පොඩි දරුවන් තුන්දෙනෙක් අතුළුව කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇත.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කය තුළ රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් 130කට අධික ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස්වල ප්‍රතිකාර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ නුවර රොහලේ සිදුකරන පී.සී.ආර්. 370න් 200 -210ත් අතර ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරුවන බවය.

මේ වනවිට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා  කොවිඩ් නිවුමෝනියා තත්වයන් උත්සන්න වී නිවෙස්වලදීම මිය යන හෝ අසාධ්‍යවන සිද්ධි වාර්තාවෙමින් ඇති නිසා රෝගය හඳුනාගැනීමට පී.සී.ආර් පරීක්ෂණ පුළුල් ලෙස පැවැත්වීම ප්‍රමුඛ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ (09) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේ දී ද සෞඛ්‍ය බලධාරීහු මේ බව අවධාරණය කළහ.

Exit mobile version