ප්‍රියන්ත මරා දැමූ අන්තවාදී ප්‍රහාරය ගැන පාකිස්ථාන සෙනෙට් සභාවේ යෝජනාවක් සම්මත කරයි

පාකිස්ථානයේදී අන්තවාදීන් අතින් ඝාතනය ලක්වූ ශ්‍රී ලාංකික පුරවැසි ප්‍රියන්ත කුමාර මහතාට සියල්කොට් හිදී එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිමින් පාකිස්තාන සෙනෙට් සභාව සිකුරාදා (24) ඒකමතිකව සම්මත කරන ලද යෝජනාවේ පිටපත පෞද්ගලිකවම ඒ මහතාගේ පවුලේ අයට භාර දී ශෝකය ප්‍රකාශ කිරීමට සෙනෙට් සභික දූත පිරිසක් ශ්‍රී ලංකාවට ඒමට නියමිත බව එරට වාර්තා පවසයි.

මෙම යෝජනාව මගින් එරට තුළ අන්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් හෙළා දැකිය හැකි බව ද සඳහන් වෙයි.

එම අවාසනාවන්ත ම්ලේච්ඡත්වයේ සිදුවීම පාකිස්තානයේ සාමකාමී ප්‍රතිරූපයට පමණක් නොව ඉස්ලාම් ආගමට ද කැළැල් කර ඇති සමාජයේ පවතින අන්තවාදී කොටස්වල මනස පිළිබිඹු කරන බව යෝජනාවේ එහි වැඩිදුරටත් සඳහන් වේ.


මෙම කෲරත්වය ඉස්ලාමයේ ආත්මය, මූලධර්ම, ඉගැන්වීම් සහ අණපනත්, මුහම්මද් තුමාණන්ගේ පිළිවෙත්, සදාචාරාත්මක හා මානුෂීය වටිනාකම්, පකිස්ථානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති සහ සමාජයේ සිරිත් විරිත් සහ සම්මතයන් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව යෝජනාව මගින් අවධාරණය කෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියන්ත කුමාර උසිගැන්වීම් සහ ඝාතනයට සම්බන්ධ වැරදිකරුවන්ට පමණක් නොව මීට පෙරද මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වැරදිකරුවන්ටද වහාම දඬුවම් දෙන ලෙස යෝජනාවෙන් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මැර ප්‍රහාරය සමාජයේ සියලුම කොටස් තරයේ හෙළා දකින බවත් ප්‍රියන්ත කුමාර බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් ඉස්ලාම් ආගමේ සහ රටෙහි සැබෑ නියෝජනය බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අලි මුහම්මද් ඛාන් මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version