ප්‍රචණ්ඩකාරීව හැසිරුණ පොලිසිය නීතිය අවභාවිතා කළා –

අන්තරේ උද්ගෝෂකයින් අත්අඩංගුවට ගත් අයුරු නීතිඥවරු අධිකරණයට කියති...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ සංවිධානය කරතිබූ විරෝධතාවය සම්බන්ධව  පොලිසිය සාවද්‍ය කරුණු අධිකරණයට ඉදිපත් කරමින්   අත්අඩංගුවට පත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උත්සාහ කරන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අද (19) අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා  එසේ ප්‍රකාශ කළේ ඊයේ උද්ඝොෂණය අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනා අද කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්  කොළම අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ  පොලිසිය ඉදිරිපත් කළ කරුණු දැක්වීමට සිය මතය ඉදිරිපත් කරමිනි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කීවේ අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂකයින්  ජනාධිපති ලේකම් කාර්යාලයට හා මුදල් අමාත්‍යාංශයට ඇතුළු වීමට සූදානම් බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වීමේ දී        රාජකාරියට බාධා කර  ඔවුන්  ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවය.  එසේ හැසිරුණු  සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. විමර්ශන නිම වී නැති හෙයින් මෙම පිරිස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේ ප්‍රචන්ඩ ලෙස හැසිරුනේ උද්ඝෝෂකයන් නොව පොලිසිය බවය. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සිට යුනියන් පෙදෙස හරහා පැමිණි සිය ගණන් පොලිස් නිලධාරීන් ලිප්ටන් වටරවුමේ සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිසට      ප්‍රචණ්ඩ ආකාරයෙන් පහර දුන් බව ජනාධිපති නීතිඥවරයා කීවේය.


එමෙන්ම මෙම සැකකරුවන් අත්අංගුවට ගෙන ඇත්තේ බොරැල්ල, වොඩ් පෙදෙස, නාරාහේන්පිට ආදී ප්‍රදේශවලින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුළුවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසීම ඉන්ම අසත්‍යයක් බව ඔප්පු වන බව කීවේය.

උද්ඝෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනතාවට ලැබෙන අයිතියක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  තම සේවා දායකයින් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත නොවුන බවත්, ප්‍රචන්ඩ ලෙස හැසිරී ඇත්තේ පොලිසිය බවත් අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පෙන්වා දුන්නේ පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ නීතිය අවභාවිතා කරමින් බවය.

අධිකරණය ඉදිරියේ පොලිසිය කියා සිටියේ උද්ඝෝෂකයින් අතර සිටි ජෙහාන් අප්පුහාමි පොලිස් අත්අඩංගුවෙන් පලා ගිය බවය. ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම අවස්ථාවේදී ජෙහාන් අප්පුහාමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ තම සේවාදායකයා සිද්ධියෙන් පසු මරදාන පොලිසියට ගිය අවස්ථාවේ දී  ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව මරදාන පොලිසියේ නිලධාරීන් විසින් පැවසිම නිසා ඔහු පොලිස්ථානයෙන් පිටවී ගිය බවය.

තම සේවාදායකයා පොලිස් අත්අඩංගුවෙන් පලා යන පුද්ගලයෙක් නොවන බව කී නීතිඥවරයා ඔහු ඕනෑම අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව දන්වා සිටියේය.

මෙහිදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා අධිකරණය සැකකරුවන් 16 දෙනා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවෙන් පලා ගිය බව කී ජෙහාන් අප්පුහාමිගේ විදේශගතවීම් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය

Exit mobile version