දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොවිඩ්! – තවත් සත්තු දෙදෙනකු හිටිහැටියේ මියගිහින්

Dehiwala zoo

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි සත්වෝද්‍යාන‍ ආරංචි මාර්ග පවසන බව දිවයින පුවත්පත අද (18) වාර්තා කර තිබේ.

මෙසේ කොවිඞ් ආසාදනය වී ඇති බව කියනු ලබන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාට ය.

දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත්, ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඞ් බවට තහවුරු වී ඇති බවත් එම පුවත්පත පෙන්වාදෙයි.


මේ අතර සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් (Keepers) දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද දැනගන්නට ඇති බව දිවයින පුවත්පත පැවසීය.

සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් එම පුවත්පත වාර්තා කරයි.

ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බව ද එහි සඳහන්‌ ය.

ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙන බව වාර්තා වේ.

මේ පිළිබඳව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කරුණු විමසූ විට ඒ මහතා දිවයිනට පවසා ඇත්තේ සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්ත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා පී. සී. ආර්. පරීක්ෂණ ප‍්‍රතිපලවල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ඉසිර වික්‍රමසිංහ මහතාගෙන් ලංකාසර විමසීමට තැත් කලද එම දුරකථන ඇමතුම් සඳහා පිලිතුරු ලැබුණේ නැත.

Exit mobile version