ජනවාරි 06ට පෙර ඩොලර් මිලියන 6.7 ගෙවනු! – චීන පොහොර සමාගමෙන් “රතු අකුරු“කොන්දේසියක්

 

ව්‍යාධිජනක කාබනික පොහොර තොගයක් ගෙන්වූ චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් පොහොර සමාගම ඊට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ ලියවිල්ලක් කෙටුම්පත් කර ඇති අතර එයට අනුව අදාළ පොහොර තොගයේ මුදලින් සියයට 75ක් එනම් ඩොලර් මිලියන 6.7ක් අනිද්දාට පෙර (ජනවාරි මස 06 වැනිදාට පෙර ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත. මෙම කොන්දේසිය කඩ කළහොත් අදාළ එකඟතා ගිවිසුමද අහෝසි වනු ඇති බව එම සමාගම රතු පැහැ අකුරෙන්  ශ්‍රි ලංකා රජය වෙත දනුම් දී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

අදාල සමාගම මෙම කොන්දේසි පනවා ඇත්තේ චීන විදේශ ඇමතිවරයාගේ  ශ්‍රි ලංකා නිල සංචාරය යෙදෙන පසුබිම තුළදීම වීම විශේෂයකි. මෙම එකඟතා ගිවිසුමට අනුව මෙම පොහොර ආනයනය කළ රාජ්‍ය පොහොර සමාගමක් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් චීන පොහොර සමාගම වෙත  නිකුත් කරන ලද ණයවර ලිපි දෙකකට අදාළව මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුව වෙත පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරවා ගත යුතු බවද දන්වා ඇත. ඒ අනුව මෙම සමාගම් ඊයේ අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ඉවත් කර ගත් අතර ණයවර ලිපියට අදාළ ආනයන කොන්දේසිවලට අනුව මෙම මුදල් ගෙවීමට සිදුවනු ඇති බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයාද පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

ක්වින්ඩාවො සීවින් බයෝටෙක් සමාගම සමග වූ මෙම ගනුදෙනුව පිළිබඳ එකඟතා ලියව්ල්ලේ මූලික කෙටුම්පත පත් නීතිපතිවරයා විසින් සකස් කරන ලද අතර එය පසුව අදාළ සංශෝධන සඳහා එම සමාගමට යැවුණු අතර මෙම ඩොලර් මිලියන 6.75 ජනවාරි මස 06 වැනිදාට පෙර වහා ගෙවිය යුතු බවට කොන්දේසියක් එක්කර ඇත්තේ එම සමාගම විසින් බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එකඟතා ගිවිසුම මගින් ප්‍රතික්ෂේපිත පොහොර තොගය වෙනුවට යළි මෙරටට එම සමාගමෙන්ම ඊළඟ පොහාර තොගය ගෙන්වීම සම්බන්ධයෙන්ද කොන්දේසි වගන්ති කිහිපයක් ඇතුළු කර ඇති අතර එහිදී අදාළ පොහොර සමාගම විශේෂයෙන් ඉල්ලා ඇති කරුණක් වන්නේ මෙම චීන පොහොර තොගය ප්‍රතික්ෂේප වීමට හේතුව ලෙස එම පොහොර ආනයන බලපත්‍රයක් නෙමැතිව ආනයනය කිරීම යන්න දෙපාර්ශ්වය විසින්ම එකඟ වූ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවය

Exit mobile version