ගැමුණු රත්නායකත් යන්න යයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලක්බිම පුවත්පතින් සහෘද රසවතුන් දිනාගත් තවත් සුන්දර මනුෂ්‍යයෙක්, රසවතෙක්, ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වූ ගැමුණු රත්නායක අද ( 22) අපෙන් වෙන්ව ගියේය.

ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා ගුරුවරයෙක් ලෙස ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ගැමුණු ශාන්ත ජෝන් ගිලන්රථ සේවාවේ උපදේශකවරයෙක් ලෙස පාසල් දරුවන් වෙත දැනුම ලබා දුන්නේය. ඒ අතරම ඔහු එවක තරුණ තරුණියන් ආශක්ත කළ අරලිය, කුමරි වැනි පුවත්පත් සඳහා මනරම් ලේඛනයක ද යෙදුනේය.

ගුරුවෘත්තිය හැර දමා ඔහු ජනමාධ්‍යය සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගන්නේ වර්ෂ 1994 දී ඇරඹුණු ලක්බිම පුවතිනි. බන්දුල පද්මකුමාරගේ කර්තෘත්වයෙන් ආරම්භ වුණු ලක්බිම පුවත්පතේ විශේෂම අතිරේකය ලෙස නිහාල් පීරිස් අතින් සංස්කරණය වුණු රිද්ම අතිරේකයේ නියෝජ්‍ය සංස්කාරකරවරයා වූයේ ගැමුණුය. එවකට බෙහෙවින්ම ජනප්‍රියව පැවති සමුදුර පුවත්පතට ඔහු කළ පරිවර්තන ලිපි බොහෝ දෙනාගේ සිත් බැඳගත්තේය.

අනතුරුව ගැමුණු රිද්ම අතිරේකයේ ප්‍රධාන සංස්කාරකවරයා විය. එහෙත් පැන නැගුණු වෘත්තීය ප්‍රශ්නත් සමග ලක්බිම හැරදා පැමිණි ඔහු ජීවිතය අවසන් වනතුරුම මව්බිම පුවත්පතේ සේවය කළේය.

ගැමුණු රත්නායක පිළිබඳ මතකය බෙහෙවින්ම පිරී ඇත්තේ ඔහුගේ පිරුණු මනුස්සකමිනි. ඔහු සිටින තැන රස ගුලාවක් විය. කිසිම අවස්ථාවක ස්වකීය පැවැත්ම උදෙසාවත් එකෙකු පාවා දීම, කේලාම් කීම, ඔහුගේ පැවැත්ම තුළ නොවීය.

කළෙක සිට ඔහු පිළිකාවකින් පීඩා වින්දේය. ඒ පීඩාව දරාගෙන ඔහු ඔහු දකින්නට එන සියල්ලන් සමග සුපුරුදු කෙළි කවටකමින් යුතුව ගත කළේය. ගැමුණු නික්ම යන්නේ සුන්දර මිනිසෙක් පිළිබඳ අසීමිත මතක ගොනන්නක් ඉතිරි කරමිනි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටුයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Exit mobile version