කොරෝනා මඩින සටනේ නිරත ජාතික රෝහලේ 50කට ඩෙංගු

IDH රෝහලෙන් අඩක් ඩෙංගු රෝගීන්ට වෙන්වෙයි

ශ්‍රියාණි විජේසිංහ     

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 50ට අධික පිරිසක් පසුගිය මාස දෙකක කාලය තුළදී ඩෙංගු රෝගයට ගොදුරු ව ඇතැයි රෝහ‌ෙල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා සදහන් කරයි.

මෙම සාමාජිකයින් අතර වෛද්‍යවරුන් හෙදියන් සහ සුළු සේවකයින්ද සිටින බව  හෙතෙම අනාවරණය කළේය


කොවිඩ් ආසාදිතයින්ගේ ඇතැම් හැසිරීම් හේතුවෙන්  රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දින 14ක් පුරාවට නිරෝධායනයට යොමු කිරීමට සිදුවන අතරේ ඩෙංගු රෝගයෙන්ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු ලබා ගැනීම නිසා රෝහලේ රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ දී විවිධ ගැටලු මතුවන බව අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ වසරේ ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගින්  11595 දෙනෙකු හමුවූ බවත් ඉන් වැඩිම පිරිස කොළඹ නගරයන් වාර්තා වී ඇතැයිද වසංගත‌ රෝග විද්‍යා අංශය සඳහන්කරයි.

මේ අතරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අසාමාන්‍ය වැඩිවීමක් සිදු වුවහොත් අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ කොටසක් ලබා ගැනීම කෙරෙහි ද අවධානය යොමුව ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කරයි.

මේ වන විට එම රෝහල තුළ කොරෝනා රෝගීන් ප්‍රතිකාර ගන්නා බැවින් ඩෙංගු රෝගීන්ට ඉඩවෙන්කර ගැනීමට ගැටලු මතුව ඇතැයි පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා කොරෝනා රෝගීන්ගේ අඩුවක් ඇති වුවහොත් ඩෙංගු රෝගීන් වෙනුවෙන් ඉඩ ලබාගත හැකි වනු ඇතැයිද ‌පැවසීය

කෙසේ නමුත් මේ වන විට ප්‍රධාන රෝහල් සහ ප්‍රාදේශීය රෝහල් තුළ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ ලබා දීමට කටයුතු කරමින් පවතින බවද හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාටුනය- පාකිස්ථාන් dailytimes ඇසුරිනි

Exit mobile version